සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ වෙරළට ඔබ්බෙන් රෝහින්ග්යා සරණාගතයන් රැගත් බවට සැක කෙරෙන නෞකා දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බවට බරපතළ සැකයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
වාර්තා අනුව, නෞකා දෙකම ජුනි මස අගභාගයේදී මියන්මාරයේ රඛයින් ප්රාන්තයෙන් පිටත්ව ගොස් ඇති අතර, ඒවායේ බහුතරය රෝහින්ග්යා මුස්ලිම් සරණාගතයන් සිටි බව සඳහන් වේ. එක් නෞකාවක් පිටත්වීමෙන් කෙටි කාලයකට පසු අතුරුදන් වී ඇති අතර, අනෙක් නෞකාව ජූලි 8 වැනිදා අයෙයාර්වඩි වෙරළ ආසන්නයේදී පෙරළී ගොස් ඇති බවට සැක කෙරේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ජාත්යන්තර සංක්රමණ සංවිධානය (IOM) පවසන්නේ, මෙම සිදුවීම් තවමත් විමර්ශනය කරමින් පවතින අතර, කඩිනම් සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම අත්යවශ්ය බවයි.
රෝහින්ග්යා ජනතාව මියන්මාරයේ ගැටුම්, පීඩනය සහ බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල දුෂ්කර ජීවන තත්ත්වයන් හේතුවෙන් මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලට ළඟා වීමේ අරමුණින් අනතුරුදායක මුහුදු ගමන්වල නිරත වන බව සඳහන් වේ. එම මුහුදු මාර්ගය ලොව භයානකම සරණාගත මුහුදු මාර්ග අතරින් එකක් ලෙස සැලකේ.

