හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවලා අවුරුද්දක් පිරුණේ පහුගිය සතියේ. 69 ලක්ෂයක් ඡන්ද ගත්තු ගෝඨාභයට තමන්ගේ ධුර කාලයෙන් බාගයක් එහෙම්ම තියෙද්දී ජනාධිපතිකම අතහැරලා රටිනුත් පැනලා යන්න සිද්ධ වුණේ රටේ ඇතිවුණු දැවැන්ත මහජන අරගලය නිසා. ඔය අරගලයට හේතුව වුණේ ඉතිහාසයේ මෙතෙක් ලංකාව මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදය. හැබැයි අරගලය පත්තු කෙරුණු ගිනිපුපුර වුණේ ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව.
රටේ ආර්ථිකය අහයපත් වේගෙන එනකොට 2021 අගභාගය වෙද්දීම බරපතළ බලශක්ති අර්බුදයක් ගැන අනතුරු හැඟවීම් පහළ වෙමින් තිබුණා. ඒ වෙනකොට බලශක්ති ඇමති හිටියේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල. එයා ඒ මොහොතේ පුන පුනා කිව්වේ එහෙම කිසිම බලශක්ති අර්බුදයක් එන්නෙ නෑ, ඉන්ධන ඕනෙ තරම් ගේන්න පුළුවන්. ඒ නිසා විදුලි කප්පාදුවක් වෙන්නෙත් නෑ, ඔය කතා ඔක්කොම ආණ්ඩුවට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලායි.
ඇත්තටම ගම්මන්පිල බලශක්ති ඇමතිකම ගත්තු වෙලාවේ ඉඳන් කිව්වේ අර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳන් කියවපු පරණ කතාවක් වෙන මන්නාරමේ තෙල් නිධි ගොඩගැනීම. එයාගේ මූලිකත්වයෙන් ඒ තෙල් නිධිවලින් තෙල් නිෂ්පාදනය ආරම්භ කරලා, අපි ලෝකෙට වෙලා තියෙන සියලුම ණය ගෙවලා දාලා ඉතිරි වෙන ඩොලර් බිලියන ගාණෙන් රට සංවර්ධනය කරනවා කියලා තමයි එයා කිව්වේ. විදේශීය සමාගමක් ඇවිත් ඒ තෙල් නිධි ගැන තොරතුරු එකතු කරගෙන, ඒ තොරතුරු ලංකාවටත් නොදී අරන් ගියා ගියාමයි, තෙල් ගොඩගැනිල්ල ගැන කතාව නැවතුණා. ඒ තෙල් නිධි ගැන එකතු කරපු දත්තවලට වෙච්චි දෙයක් නෑ, ඒ දත්ත ගනුදෙනුව පිටිපස්සේ මොකක් වුණාද කියලා කවුරුත් දන්නෙත් නෑ.
ඊට පස්සේ එයා මැද පෙරදිග රටවල්වල ලොකු සංචාරයකට ගියා. ඒ ගිහින් ඇවිත් එයා කිව්වේ ඕමානය අපට ඩොලර් බිලියන 3.6ක ඉන්ධන දෙන්න ලෑස්තියි, කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඒ කතාවටත් වෙච්චි දෙයක් නැතුව ගිහින් අන්තිමේ තෙල් ප්‍රශ්නය උග්‍ර වෙලා පෝලිම් හැදිලා විදුලිය පැය ගණන් කැපෙන්න ගද්දී ගම්මන්පිල කිව්වේ “මුදල් අමාත්‍යංශය ඩොලර් දෙනවා නම් මට තෙල් ගේන්න පුළුවන්” කියලා. ඩොලර් දෙනවා නම් තෙල් ගේන එක තෙල් සංස්ථාවේ ටෙන්ඩර් කමිටුවේ වැඩක් මිස බලශක්ති ඇමතිගේ වැඩක් නෙවෙයිනෙ.
තමන්ට ලැබුණු තීරණාත්මක ඇමතිකමෙන් හරිහමන් වැඩක් නොකර, තමන්ගෙ පුද්ගලික දේශපාලන හීන පස්සේ දුවමින් පිස්සු කෙළපු ගම්මන්පිල ආර්ථික අර්බුදය පුපුරලා යන්න ඔන්න මෙන්න තියෙද්දේ ආණ්ඩුවෙන් එළියට වැටෙන තැනටම වැඩේ කරගෙන ඊටපස්සේ හරියට මැරිලා ඉපදුණා වගේ කිව්වේ “මේ ප්‍රශ්න මෙහෙම වෙනවා කියලා මුලින්ම කිව්වේ මමයි. ආණ්ඩුවේ ලොක්කෝ ඒකට ඇහුම්කන් දුන්නෙ නෑ. මම කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෙ නෑ” කියලා.
ඔය අතීත කතාවක්. අපි දැන් වර්තමානයට එමුකෝ ….
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න පිට ප්‍රශ්න. එහෙන් ඖෂධ හිඟය, මෙහෙන් බාල ඖෂධ ගැන ප්‍රශ්න, තව පැත්තකින් වෛද්‍යවරුන් හිඟය, වෛද්‍යවරුන් පෝලිමේ රට හැරයාමේ ප්‍රශ්නය, තීරණාත්මක යන්ත්‍ර සූත්‍ර බිඳවැටීම් සහ ඒවා යථාවත් කරගැනීමට ඇති නොහැකියාව, සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ප්‍රශ්න, ඔය වගේ එකිනෙක ගැටගැහුණු එකම ප්‍රශ්න ගංගාවක් බවට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්වෙලා ඉවරයි.
ඔය අතරේ ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගීන් මියයාමේ සිද්ධි පිළිබඳවත් වාර්තා වෙමින් තියෙනවා. සෞඛ්‍ය බලධාරීනුත් ඒවාට එක එක හේතු කියනවා. සෞඛ්‍ය ඇමති කෙහෙළිය එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියනවා. ඔය අතරේ ඇතැම් මරණවලට හේතුවුණාය කියන ඇතැම් ඖෂධ භාවිතයෙන් ඉවත් කරන්නත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. මාධ්‍යවේදීන් ඕවා ගැන ප්‍රශ්න කරද්දී කෙහෙළිය බොහෝම සැහැල්ලුවෙන් හිනාවෙවී උත්තර දෙනවා. විහිළුත් කරනවා. දැන් සතුටුද අහනවා.
ජනතාව ඉන්නේ අසනීපෙකින් මැරෙන්න වෙයිද, අසනීපෙකට බෙහෙත් අරන් ඒ බෙහෙත නිසා මැරෙන්න වෙයිද කියලා බයෙන්. මේක කොහෙත්ම විහිළුවක් නෙවෙයි ….
අපට මතකයි ගිය අවුරුද්දේ තෙල් පෝලිම්වල නොයෙකුත් හේතු නිසා මරණ ගණනාවක් සිද්ධ වුණා. ආණ්ඩුව ඒවා ගැන කිසිම සංවේදීත්වයක් පෙන්නුවේ නෑ. ජනතාව බොහොම සාමකාමී විදියට කරපු විරෝධතා එක මොහොතකදී මන්ත්‍රීලාගේ ගෙවල් හොයහොයා ගිහින් ගිනිතියන මට්ටමකට ප්‍රචණ්ඩ වෙන්න ඔය කියපු මරණ ගැන ආණ්ඩුව දක්වපු නොසැලකිලිමත්කමත් හේතුවුණා අනිවාර්යයෙන්ම.
දැන් කොමිස් ගහන්න ඕනෑවට බාල ඖෂධ ගෙන්නුවා කියන චෝදනාව බොහොම බරපතළ විදියට සමාජයෙන් එල්ල වෙමින් තියෙනවා. රෝහල්වල රෝගීන් ප්‍රශ්නගත ආකාරයට මියයාමේ සිද්ධි වාර්තා වෙමින් තියෙනවා. මේවාට කිසිම කෙනෙක් වගකීමක් භාරගන්නේ නෑ. කෙහෙළිය තනියෙන්ම මේ ප්‍රශ්න ඔක්කොම ඇතිකළා කියලා කවුරුහරි කියනවා නම් ඒකත් වැරදියි. ඖෂධ ගෙන්වීම ගැන වගකිවයුතු ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මේ ආයතන තුනේ ඉන්න නිලධාරීනුත් බබාලා වෙන්න විදියක් නෑ. ( එයාලා කවදත් ෂේප් වෙනවා) හැබැයි මේ ආයතන තුනම තියෙන්නේ කෙහෙළිය යටතේ, ඒ වගේම මේ ආයතනවල කෙහෙළියගේ ගෝලයෝ ප්‍රධාන භූමිකා කරනවා කියන එකත් රහසක් නෙවෙයි. ඒ නිසා කෙහෙළියට මේකේ වගකීම ගන්න වෙනවා.
නමුත් මේ වෙනතුරුම කෙහෙළිය එහෙම වගකීමක් ගන්න බවක් පේන්න නෑ. ඇත්තටම මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග නොයා බේරන්න ඉඩකුත් තිබුණා. ඒ, හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට එන්න හදපු මොහොතේ. ඒත් කෙහෙළිය ඒ මොහොතේ සෞඛ්‍ය ඇමතිකම අතහැරලා වෙනත් ඇමතිකමක් භාරගන්න කීයටවත් එකඟ වුණේ නෑ කියන එකත් දේශපාලන ක්ෂේත්‍රය තුළ රහසක් නෙවෙයි.
දැන් හැමෝම බලාගෙන ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිහා. මෙච්චර හරියක් වෙද්දීත් රනිල් ඇයි කෙහෙළියව අයින් නොකරන්නේ කියන ප්‍රශ්නය මිනිස්සු දැන් එළිපිටම අහනවා. එතන තත්වය ඇත්තටම කාටවත් හරියටම පැහැදිලි නෑ. නමුත් ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහයෝගය නැතුව ආණ්ඩුව කරගෙන යන්න බෑ කියන එක කවුරුත් දන්න දෙයක්.
ඖෂධ ප්‍රශ්නය ඉක්මනින් විසඳිලා, රෝගීන් ප්‍රශ්නගත විදියට මැරෙන එක නැවතිලා, ජනතාවගේ හිත්වල තියෙන සැක සංකා දුරු නොවුණොත් – ආර්ථික ප්‍රශ්නවලත් එහෙමට අඩුවක් නැති තත්වයක් යටතේ – රනිල්ට එරෙහිව ජනතාව පාරට බහින දවසත් වැඩි ඈතක නොවෙන්න පුළුවන්. දැනටත් ඒක එහෙම නොවී තියෙන්නේ ඇයි කියලා කාටහරි අහන්න පුළුවන්, දැනට ඒක නොවුණත් දැන් තියෙන්නේ ඔය ආතතිය එන්න එන්නම වර්ධනය වෙන තත්වයක් කියලා නම් පොඩි ළමයෙකුට වුණත් තේරෙන්න ඕනෙ.
මොකද ඇමතිලා පොඩි අසනීපයකට වුණත් බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට කියන එක ජනතාව අතරේ පැතිරිලා ඉවරයි. එයාලා එහෙම කරද්දී දුප්පත් මිනිස්සුන්ට එයාලා ගෙන්නන බාල බෙහෙත් නිසා මැරෙන්න වෙනවාය කියන මානසිකත්වය රටේ පැතිරුණොත් ඒකෙන් මොන මට්ටමේ සාධාරණ කෝපයක් ඇවිළෙයිද කියලා හිතාගන්න අමාරුද ?
මේ ප්‍රශ්නය ගොඩින් බේරාගන්න නම් දැනට තියෙන්නේ එක විසඳුමයි. කෙහෙළිය රඹුක්වැල්ල දැන්වත් සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න ඕනෙ. ඒක තවත් පරක්කු කරලා, තවත් ප්‍රශ්න උඝ්ර වුණොත් රනිල්ට එරෙහි අරගලයට ආරම්භය අරන් දුන්නේ කෙහෙළිය කියලා ඉතිහාසයට එකතු වෙන්න පුළුවන් ….
~ දර්ශන වීරසිංහ
RN