Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම සහ සංක්‍රාන්ති අභියෝග

දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ  අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය.

අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන මෙසේ ලියයි.

ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි කියන ජන බලයේ දැවැන්ත දර්ශනය මුළු ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් සපයයි.

එවැනි ඇදහිය නොහැකි දේශපාලන බලමුලු ගැන්වීම් වලින් පසුව සිදුවන්නේ කුමක්ද? ඉදිරි සති සහ මාසවලදී දූවිලි තැන්පත් වේවිද, නැතහොත් දේශපාලන විඥානයේ විස්මිත පිබිදීම ඉදිරි වසර සහ දශක සඳහා දේශපාලනයට මග පෙන්වයිද? දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ  අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කිරීමට ඉඩ ඇත.  අපි මෙම ඓතිහාසික ප්‍රශ්න සමඟ පොරබදමින් සිටිත්ම, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රගතිශීලී ස්වරූපයන් සඳහා ඇති ක්ෂනික වියහැකියාවන්  මොනවාද? පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දේශපාලන ප්‍රභූන්ගේ මෑත කාලීන කූටෝපායන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට ඇදෙන විශ්වසනීය දේශපාලන  පරිවර්තනයක් ගැන සපයන්නේ සුළු විශ්වාසයකි. ඇත්ත වශයෙන්ම, පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල භාවයේ බිඳවැටීම සහ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ඉටු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත නැවතත් අසමත් වීම රටේ දේශපාලන අනාගතය මහජනතාව අතට ගැනීමට හේතු විය. එබැවින්, ජනතා ව්‍යාපාරයේ අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය සහ අරගලය මත බොහෝ දේ රඳා පවතිනු ඇත.

2022 ජූලි 9 වන දින විරෝධතා දක්වා සිදුවූ දේ තුළ, විවිධාකාර ව්‍යාපාරයක ඉල්ලීම් බවට ඒකාබද්ධ වූ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබුණි:  ජනාධිපති සහ අගමැති වහාම ඉල්ලා අස්වීම; විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම; දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා විපක්ෂයේ  අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම; ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගවීම සඳහා ජනතා ව්‍යාපාර, වෘත්තීය සමිති, වෘත්තීමය සංවිධාන සහ වෙනත් සංගම්වලින් සමන්විත ජනතා සභාවක්; මිල ඉහල යාමෙන් හා හිඟයෙන් හුස්ම හිරවී සිටි වැඩකරන ජනතාවට කඩිනම් ආර්ථික සහන; සහ විශ්වසනීය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා මාස හයේ සිට වසරක අතුරු කාලසීමාවකින් පසු මැතිවරණ පැවැත්වීම.

මෙම බලගතු දේශපාලන මොහොත මධ්‍යයේ,  පාර්ලිමේන්තුව තුළින්  නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහාත්,  ඒ සමඟම නව අගමැතිවරයකු සමඟ නව රජයක් පිහිටුවීමටත් බලය සඳහා අවස්ථාවාදී කූට තරඟය දිගටම පවතී. එබැවින්, ජනතා ව්‍යාපාරය අතුරු කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි සහ අවධානය යොමු කළ මඟ පෙන්වීමක් ලබා දිය යුතුය.

මෙම දැක්මට සංරචක කිහිපයක් ඇතුළත් වේ. පළමුව, විධායක ජනාධිපති ක්‍රමය කප්පාදු කර අහෝසි කළ යුතුය. විවිධ ක්‍රියාකාරීන් සහ කණ්ඩායම් ව්‍යවස්ථාමය සංශෝධන හරහා බල තුලන ක්‍රම ප්‍රතිෂ්ඨාපනය කිරීම ළඟ නතර වීමෙන් මෙම ඉල්ලීම බාල කිරීමට සහ දුර්වල කිරීමට උත්සාහ කළ හැකිය. එහෙත් මේ උත්සාහයන් සැලැකිය යුත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය දිග්ගැස්සවීමක් පමණක් ලෙස ය.බලාපොරොත්තු සහගත පසුබිම වන්නේ ජනතා විරෝධතා ව්‍යාපාරය හරහා එක්රැස් වූ සමාජ බලය විධායක බලය ක්‍රියාත්මක කිරීමේදී පැහැදිලි සීමාවන් පනවා තිබීම යි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන ඕනෑම නව ජනාධිපතිවරයෙකු එම බලතල කිසිවක් ක්‍රියාත්මක නොකළ යුතුය. එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැලකිය යුතු පීඩනයක් යෙදිය යුතුව ඇත. එබැවින්, අන්තර්වාර රජයක් සමඟ, විශේෂයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව උසාවිය ප්‍රකාශ කරන්නේ නම්,  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව ජනමත විචාරණයක් පවත්වන තුරු ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ සංකේතාත්මක තැනැත්තෙකු ලෙස පමණි.

දෙවනුව, පාර්ලිමේන්තුවේ වත්මන් පසුගාමී සීමාවන් සැලකිල්ලට ගෙන එහි සැලසුම් සහ ප්‍රතිපත්ති පරීක්ෂා කිරීමේ ගැටලුව තිබේ. ජනතා ව්‍යාපාරයේ උත්සුකවීම් සහ ඉල්ලීම් ආයතනගත කිරීමේ වෙනත් ක්‍රම මගින් එය පරිපූරණය කළ යුතුය.ඒ පිළිබඳ යෝජනා වලට ජනතා සභාවක් පිහිටුවීම ඇතුළත්ව තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රගතිශීලී බලවේගවල කේන්ද්‍රීය ඉල්ලීම විය යුත්තේ කොළඹ කේන්ද්‍ර කරගත් තරුණ ව්‍යාපාරයේ සහ වෘත්තීමය සංවිධානවල නියෝජිතයන් පමණක් නොව  අනෙකුත් කණ්ඩායම් අතර,වතු කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, ගොවීන්, ධීවර ජනයා, අවිධිමත් ජීවිකා උපයන්නන් ඇතුළු සමාජයේ විවිධ හරස්කඩක් ද ඇතුළත් වන පරිදි නියෝජනය පුළුල් කිරීමයි. මාධ්‍යවේදීන්ගේ අවධානය ගාලුමුවදොර හා ඒ අවට ප්‍රදේශය වෙත යොමුව තිබියදී, යථාර්ථය වන්නේ රජයට ඒ මොහොතේ රට අභ්‍යන්තර ප්‍රදේශය අහිමි නොවුණි නම්  ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමේ ව්‍යාපාරය සාර්ථක නොවනු ඇති බවයි.

තෙවනුව, ආර්ථික ප්‍රතිපත්ති යළි පිහිටුවීමක් තිබිය යුතුය. මෙම ඓතිහාසික නැගිටීමට යටින් පවතින හේතුව වී ඇත්තේ ආර්ථික අර්බුදයේ විනාශකාරී බලපෑමයි. වසංගතය විසින් මෙහෙයවන ලද රට වසා දැමීම් අතරතුර මිනිසුන් තමන්වම ආරක්ෂා කර ගැනීමේ තැනට ඇද දමන ලදී. තත්වය දිගින් දිගට නරක අතට හැරෙමින් තිබියදී ඔවුන්ට ලබා දුන් සහනයක් ඇත්තේම නැති තරම්ය. සැබවින්ම,  මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, සහ,  වඩාත් මෑතක දී අගමැති වික්‍රමසිංහ විසින් නොපෙනෙන ගිවිසුමක්  තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ ක්‍රියාවට නංවා ඇති බැවින් පසුගිය මාස හතර අතිශයින් වෙහෙස කර වී ඇත. එම පටි තද කිරීමේ ක්‍රියාමාර්ග ආර්ථික බිඳවැටීමට තුඩු දී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදමේ දැවැන්ත වැඩිවීම්, ආදායම් මාර්ග පහත වැටීම සහ ජීවනෝපායන් කඩාකප්පල් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ජාත්‍යන්තර ණය හිමියන්ට විශ්වාසයක් සම්පාදනය කිරීම සඳහා වන පටි තද කිරීමේ ක්‍රියාමාර්ග  මගින් ආර්ථික අවපාතය තවදුරටත් උග්‍ර වන බැවින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට දහයකින් හැකිලී යා හැක. අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රමුඛතාවය විය යුත්තේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීම වැළැක්වීම සඳහා ආර්ථික සහන සහ උත්තේජනය කෙරෙහි අවධානය මාරු කිරීමයි. දුරදිග යන කුමන හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුත්තේ මීළඟ මැතිවරණවලදී නැවුම් ජනවරමක් ලැබීමෙන් පසුව පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලමුලු ගැන්වීමේ මේ විස්මිත කාලය පෙන්වා දී ඇත්තේ ඉතා මෑතක දී අධිකාරීවාදී ජනතාවාදී පාලනයක් විසින් ක්‍රියාත්මක කරන ලද සහ හුදෙක් බලගතු ජාත්‍යන්තර නියෝජිතයන් වෙත නැඹුරු වූ මෙම නව ලිබරල් ප්‍රතිපත්ති යුගය ජනතාව විසින් පිළි නොගනු ඇති බවයි. ජනතාවගේ මහා ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහයන් ඉදිරි සති සහ මාස වලදී ප්‍රධාන බාධක වලට මුහුණ දිය හැක. නමුත් පසුගිය මාස ගණනාවක විරෝධතා රැල්ලෙන් පෙනෙන පරිදි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව, ඉදිරි වසර සහ දශක වලදී ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකයේ විශාල වෙනස්කම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරයි.

Economic &  Political Weekly 

Vol. 57, Issue No. 29, 16 Jul, 2022

The People’s Uprising and the Challenges of Transition in Sri Lanka මැයෙන් කතුවැකි පිටුවේ පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය ‘කතිකා’ විසිනි. 

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.