අපිටත් ගෙදරක් තිබුණා ….

තක්කඩි හිරු කැරැල්ලක්
ජනේලෙන් ගෙට ඇවිත්
ඇස් දෙක හංකිති කවනකොට
තේ ලෑස්තියි කියන
අම්මගේ මෘදු හඬ.

එක පිට එක වැටුණු
තේක්ක කොළ අතරින්
කටුස්සෙක් දනි පනි ගගා දුවනකොට
අක්කෙ මෙහෙ එන්නකෝ කියන
නංගිගේ බය හඬ.

කට්ට කළු අහසක
අම්මගේ සාරියේ ඇල්ලූ
බොරු මැණික් වගේ තරු පිපෙනකොට
හදිසි අවතාර සේ මතුවෙන
වවුලන්ගේ ක්‍රී…ස් හඬ.

පැට්‍රෝමැක්ස් එළියෙන්
පොත් බලා අහවරව
ස්වදේශීය සේවේ අහනකොට
ලොක්කියේ බත් බෙදුවාදැයි අහන
අප්පච්චිගේ බර හඬ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN