ප්‍රමෝද් චින්තක පීරිස්
ජූලි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රාන්ති සමාජභාවී හෝ ද්විත්ව-නොවන සමාජභාවී පුද්ගලයන් අතර වැඩිහිටි පුද්ගලයන් පමණක් නොව දරුවන් සේ සැලකෙන පුද්ගලයන් ද සිටීම බැහැරකළ නොහැකි සත්‍යයක්.
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුම ජීවිතයේ කුමන හෝ අවධියක දී තමාට උපතෙන් ලද ලිංගික අවයව හා නොගැළපෙන සමාජභාවී අනන්‍යතාවයක් තමාට තිබෙන බවට හඳුනා ගත හැකියි.
අප මේ කතා කරන්නේ මේ ලෝකේ ඉන්න කෙරුම්කාරයෝ දෙන්නෙක් මේ ගැන ගේන්න හදන වලංගු එහෙත් සාවද්‍ය කරුණු ඇතුළත් තර්කයක් ගැන.
උපතින් ලද ලිංගික අවයවය හෝ උපතේදී පවරන සමාජභාවය හා නොගැළපෙන අනන්‍යතාවයක් මනසින් හඳුනා ගැනීම සංක්‍රාන්ති සමාජභාවය නමින් හැඳින්වෙනවා. මේක කියන්නේ මම නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය.
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් සංක්‍රාන්තියක් හමුවේ මුහුණදෙනු ලබන සංක්‍රාන්ති අවධි තුනක් තිබෙනවා: වෛද්‍ය සංක්‍රාන්තිය (medical transtion), සමාජ සංක්‍රාන්තිය (social transition), සහ නෛතික සංක්‍රාන්තිය (legal transition).
අපේ කතාවට පාදක වෙන්නේ මේ තුනෙන් පළමුවැන්න, එනම් වෛද්‍ය සංක්‍රාන්තිය. වෛද්‍ය සංක්‍රාන්තියක දී හෝමෝන ලබා ගැනීම, හෝමෝන ජනනය වීම අවහිර කිරීම, සැත්කම් සිදුකිරීම, කටහඬ පුහුණුව ආදී කරුණු බොහොමයක් සිදුවන්න පුළුවන්. නමුත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුට මේ කිසිවක් අනිවාර්ය කාරණා වන්නේ නැහැ කියලාත් මතක් කරන්න ඕනේ.
අපේ කෙරුම්කාරයෝ දෙන්නා තමයි ලෝක පූජිත ඊලෝන් මස්ක් උතුමාණන් සහ ජේ.කේ රෝලිං මැතිණිය. අනේ නම් දෙක නම් කාටවත් නුපුරුදු නෑ නෙ නේද?
උන්දැලා කියනවා ‘ජෙන්ඩර් ඩිස්ෆෝරියා’ (gender dysphoria) ‘නිට්ටාවටම සුවකළ’ හැකි එකම ක්‍රමය දරුවන්ට ඔවුන්ගේ යෞවනෝදයට පැමිණීම ස්වභාවිකව සිදුවීමට ඉඩ හැර දී බලා සිටීම කියලා. කුඩා වයසකදී ම දරුවකු ‘වඳභාවයට පත් කිරීම’ හෙන ගහන අපරාධයක් ලු. බොහෝ දරුවන් යෞවනෝදයට පත්වෙද්දී ‘අනන්‍යතා අර්බුදයකට’ (identity crisis) මුහුණදෙනු ලබනවා ලු, ඒක ස්වභාවධර්මයාට විනිශ්චය කරන්න ඉඩ දී බලා සිටින්න ලු.
හා ලු ඈ….
ඔක්කෝටම කලිං මුන්දැලා දෙන්නා ජෙන්ඩර් ඩිස්ෆෝරියා කියන්නේ මොකද්ද කියන එක ගැන දන්නේ නැති පාටයි කියන එක මතක් කරන්න ඕනේ.
ඊලෝන් මස්ක් මහත්තයෝ, ඔයා අභ්‍යවකාශයට යානා යවන්න ඇති, අපිට අර අඩු වියදම් අන්තර්ජාල පහසුකම් සපයා දෙන්න ජනාධිපතිතුමාට පොරොන්දු වෙන්න ඇති. ජේ.කේ. රෝලිං නෝනා, ඔයා විසර්ඩිං වර්ල්ඩ් එක මවලා හැරී පොටර් ලෝකය ලබා දුන්න එකට, ඒකෙන් මුලුමහත් රසික ජනතාවකට යතාර්ථයෙන් මිදී මොහොතකට මායා ලෝකයට පැමිණෙන්න දොරටු විවර කරලා ජනතාව සතුටු කරන්න ඇති. ඒ හැම දේකටම බොහොම ස්තූතියි.
ඒත් ගොං කතා ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා.
‘නිට්ටාවට සුවකරන්න’ ජෙන්ඩර් ඩිස්ෆෝරියා කියන්නේ රෝගයක් නෙමෙයි. ඇත්තම කතාව කිව්වොත් දැන් ජෙන්ඩර් ඩිස්ෆෝරියා කියන නම භාවිතා කරන්නෙත් නැති තරම්. ඒකට කියන්නේ ජෙන්ඩර් ඉන්කොන්ගෘවන්ස් (gender incongruence) කියලා. මේකේ තේරුම උපතින් ලද ලිංගික අවයවය හෝ උපතේදී පවරන සමාජභාවය සමඟ නොගැළපීමක් මනසේ ඇතිවීම කියන එක. ඒකත් සමඟ එවන් තත්ත්වයක් ඇතිවන පුද්ගලයා අධික ලෙස මානසික ව්‍යාකූලතාවයකට පත්වෙන්න පුළුවන් නිසි මඟපෙන්වීම නොලැබුනොත්. මේක වැඩිහිටියන්ට පමණක් නෙමෙයි, දරුවන්ටත් අතිශයින්ම විශේෂ තත්ත්වයක් බව මතක් කරන්න ඕනේ. ඒක ලෙඩක් නෙමෙයි නෝනෝ, මහත්තයෝ. ඒක වෛද්‍ය අවධානය යොමුකළ යුතු සායනික තත්ත්වයක්.
දැන් ඔයගොල්ලෝ මේ කියන්නේ ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලෙස වෛද්‍ය සංක්‍රාන්තිය ට දරුවකු යොමුකළහොත් ඒක හෙන ගහන අපරාධයක් කියලා නේ. හැම දරුවකුම වගේ ‘අනන්‍යතා අර්බුදයකට’ මුහුණදෙනු ලබන කාලයක් තිබෙනවා කියලා නේ. සංක්‍රාන්ති සමාජභාවී දරුවකුට දෙමාපියන් ගේ මඟපෙන්වීම අවශ්‍ය බවට ඔබ මතු කරන්න හදන තර්කය වලංගුයි. කිසිඳු විටක දෙමාපියන් ගේ මඟපෙන්වීම හා වෛද්‍ය නිර්දේශයකින් තොරව වෛද්‍ය සංක්‍රාන්තියට යොමුවීම අතිශයින් අවදානම් සහගතයි. හැබැයි, පුද්ගලයකු දරුවකු අවධියේ ම සංක්‍රාන්තිය ට යොමුනොකළ යුතු බවට ඔබ ගෙනෙන තර්කය පොට්ට කාසියක් වගේ. අනන්‍යතාව යනු ‘අර්බුදයක්’ නෙවෙයි. ඒක අර්බුදයක් කරලා තිබෙන්නේ සමාජය විසින්මයි.
මම ඇයි එහෙම කියන්නේ? ජෙන්ඩර් ඉන්කොන්ගෘවන්ස් පිළිබඳ වෛද්‍ය තක්සේරුවක් සිදුකර එම තැනැත්තාට හෝ දරුවාට වෛද්‍ය සංක්‍රාන්තිය අවශ්‍ය බවට නිර්දේශ කර එසේ යොමු නොකළහොත් එම තැනැත්තාට අනාගතයේ මුහුණ දීමට සිදුවන විශාධි තත්ත්වයන් ඉහළ බවට පර්යේෂණ මඟින් ම සොයාගෙන තිබෙනවා. ඒ වගේම ජෙන්ඩර් (gender), නැතිනම් සමාජභාවය කියන්නේ සමාජය විසින් ගොඩනඟපු සංකල්පයක් බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්මයි. ඒකේ ‘අර්බුදයක්’ එනවා නම්, ඒකට පළි ඒ ‘අර්බුදයට’ මුහුණ දෙන දරුවා නෙමෙයි, ඒ අර්බුදයට එම දරුවා ඇද දැමූ මේ ගතානුගතික, දේශපාලනීකරණය වූ කාලකන්නි සමාජ ක්‍රමයයි.
මස්ක් මහත්තයෝ, රෝලිං නෝනෝ, ඔබට විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ගැන පෞද්ගලික මත ඇති. ඒවා ගෙදෙට්ට තියාගන්න. තැන් තැන්වල ප්‍රසිද්ධියේ කියන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ, මේ ලෝකේ සියවස් ගණනාවක් මුළුල්ලේ ඉතාම අමාරුවෙන් ගොඩනංවාගෙන ආපු සමානාත්මතාවය භුක්ති විඳීමට සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සහ ද්විත්ව-නොවන සමාජභාවයන් ඇති පුද්ගලයන් ට නොහැකි වී යාමයි.
අහසට සැටලයිට් යැව්වාට, මනඃකල්පිත ලෝකයකට දොර විවරකර ලොවක් සැනසුවාට, පටු දක්ශිණාංශික දේශපාලන න්‍යායපත්‍රවල ඉත්තන් බවට පත්වෙන්න එපා කියන එක තමයි මටනම් කියන්න තියෙන්නේ.
ඡායාරූප: අන්තර්ජාලය