*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ගිහින් එන්න තාත්තේ …

රාජපක්ෂලගේ පිහිටෙන් බයිසිකලේට ආයෙත් හොඳ කාලයක් ඇවිත්.

පොඩි කාලේ තාත්තගේ බයිසිකලේ ඇන්දේ වාඩි වෙලා ඉස්කෝලේ ගියපු හැටි මට මතක් වෙනව; බද්දේගම ක්‍රිස්තුදේව මහා විද්‍යාලෙට ගිය කාලේ.

තාත්ත වගේම විදුහල්පතිවරු, ගුරුවරු ගොඩක් දෙනෙක් ඒ කාලේ ඉස්කෝලේ ගියෙත් බයිසිකලෙන්.

‘රැලේ’ බයිසිකලේ ඒ කාලේ අපිට පික් අප් ට්‍රක් එකක් වගේ; තාත්ත ඒකෙන් නොගත්ත වැඩක් නෑ.

කාලෙකට පස්සේ රිචඩ් පතිරණ ඇමතිතුමා ගුරුවරුන්ගේ වැටුප් හදල දුන්නට පස්සේ තාත්ත බයිසිකලෙන් C50 කට මාරු වුණා.

ඉස්කෝලේ ගිහින් ගෙදර එනකොට අපි විතරක් නෙමෙයි ගෙදර හිටපු බලු පැටියත් තාත්ත එනකල් වලිගෙ වන, වන මග බලාගෙන හිටිය. තාත්තගේ මෝටර් සයිකලේ සද්දේ අපිට කලින් ඌට ඇහෙනවා.

මහා බියකරු, ‘හිට්ලර් වගේ’ භයංකර කියල හිතපු, ලංකාවට ‘සෞභාග්‍යය’ අරගෙන ආපු දූෂිත, ප්‍රජා පීඩක පාලකයෙක් එලවන්න මුළු රටම පාරට බැහැපු ඓතිහාසික දවසේ තාත්ත යන්න ගිහින්.

තාත්ත ගිහින් ටික වෙලාවකින් ලංකාවේ හිට්ලරුත් යනවා කියලා කිවුව.

තරුණ කාලේ තාත්තත් එඩිතර සටන් කාමියෙක්.

එයා හිතපු විදියට එයා වාමාංශිකයෙක්.

හල්ලල මහා විද්‍යාලේ විදුහල්පති කාලේ කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලි ඇමතුවා කියල මොන්ටේගු ජයවික්‍රම තාත්ත අනුරාධපුරේට මාරු කරලා තිබුණ.

පස්සේ තාත්ත කොමියුනිස්ට් පක්ෂෙන් ශ්‍රීලනිපයට මාරු වුනා.

මහින්දලා, වාසුදේවල, දිනේෂ් ගුණවර්ධනල තාත්තගේ විග්‍රහයේ හැටියට ‘ප්‍රගතිශීලීන්’.

එකම රටක ඉන්න ජාතීන් විරසක කරලා, සිංහලය මුරුංග අත්තේ තියල ජාතීන් අතර බෙදීම් ඇතිකරන බෙදුම්වාදී ජාතිකවාදී නායකයෝ ප්‍රගතිශීලී වෙන්නේ කොහොමද කියල මම තාත්තාගෙන් ඇහුව.

තාත්තගේ බොහොම ගතානුගතිකවාදී අදහස් කියල මට හිතුන දේ ගැන අපි නිතරම වාද කළා.

කවදාවත් තාත්ත මගේ මතයට එකඟ වුනේ නෑ; ඒත් නොදැනුවත්ව හරි මට එහෙම වාද කරන්න දැනුම දුන්නෙත්, පන්නරය දුන්නෙත් තාත්ත බව මම දන්නවා.

අනික මොන තරම් වාද කළත් තාත්තටත්, අපිටත් තිබුනේ එකම අරමුණක්; අදට වඩා යහපත් රටක්, ලෝකයක් දකින එක.

මම එදා මහිතාගෙන හිටියේ මහරගම ඉඳල සෙනග එක්ක එකතුවෙලා ගෝටාගෝගම පැත්තට යන්න.

ඒත් තාත්ත ගිහින් කියල ආරංචි වුනාම, ඒ වෙනකොට අරගලයට යන්න බස් එකකටත් නැගල හිටපු රුවන් මල්ලිත් එක්ක එකතුවෙලා අපි පන්නිපිටිය පැත්තට යන්න පිටත්වුනා.

පාර පුරාම සෙනග; සමහරු පයින්ම යනවා; සමහරු ට්‍රක්වල එල්ලිලා; බස්වල පොල් පටවල වගේ; සමහරු බලෙන්ම දුම්රිය පිටත් කරගෙන තිබුන.

මහ පාරවල් එහෙම පිටින්ම හිස් ගොඩක්.

ඒත් අපිට යන්න වුනේ අනිත් පැත්තට.

ටික වෙලාවක් අත දදා ඉන්නකොට ට්‍රක් එකක් නැවැත්තුවා.

“නගින්න.”

කොහෙටද යන්න ඕනේ කියලවත් ඇහුවේ නෑ.

මනුස්සකම.

කවදාවත් රාජපක්ෂලාට විරුද්ධව වචනයක් කියල නැතත්, නැගිටලා හිටිය නම් තාත්තත් අපිත් එක්ක කොළඹ යන්න ඒවි කියල මට හිතුන.

හිත හතර වටේ කැරකෙනවා.

ඉස්කෝලේ ගිහින් ඇවිත් කුඹුරක් කොටන එක, වත්තේ පිටියේ වැඩක් කරන එක, තේ පාත්තියක් දාන එක, එළවලු පලතුරු ටිකක් වවාගන්න එක තාත්තගේ විනෝදාංශ.

ඒ ගොඩක් දේවල් කාබනික. Organic.

මිනිස්සුන්ගේ මොළ සෝදලා මඩිය තරකරගත්ත විනාසදෙනියලවත්, රතනවංශලවත් ඒ කාලේ හිටියේ නෑ.

විනෝදාන්ශේ මොකක් වුණත්, තමන්ට පැවරුණු රාජකාරිය – දරුවන්ගේ ඇස් පෑදීම – තාත්ත කවදාවත් අතපසු කළෙත් නෑ.

දරුවෝ හය දෙනා විතරක් නෙවෙයි තවත් සිය ගාණක් දරුවෝ තවමත් තාත්ත ආදරෙන් මතක් කරන්නේ ඒ නිසා.

තාත්තගේ විනෝදාංශවලට අපිව ගාවගන්න හදනකොට පාඩම් කරනවා කියල පෙන්නලා පුළුවන් තරම් කට්ටි පැන්නත් මතකයි.

හිත හතර වටේ දුවනව.

අවුරුදු 92ක් ජීවිතේ හොඳින් විඳල තාත්ත යන්න ගිහින්.

ඇත්තටම තාත්ත එයා කැමති විදියට ජීවිතේ වින්ද කියල දරුවෝ හය දෙනාම දන්නවා.

පෙට්‍රල්, ඩීසල් නැතුව, ගෑස් නැතුව අපා දුක් විඳින කාලෙක ඔබට ඒ ගැන නොකීවේ දුර බැහැර ගෙවාගෙන එන එක ඇත්තටම දුෂ්කර නිසා.

ඒ කිසිවක් නොතකා ආපු හැම දෙනාටම ස්තුතියි; ශෝකය පළ කළ ඔබ හැමෝටමත් ස්තුතියි.

සුවෙන් නිදන්න තාත්තේ …

(ස්තුතියි ආනන්ද ජයසේකර අයියේ, නදීෂ චන්ද්‍රසේකර මිතුරාට ෆොටෝස්වලට)

සරෝජ් පතිරණගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලද්දක් !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan