*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ටෙලිකොම් විකිණීමේ කතාවේ බොහෝ දෙනකුට නොපෙනෙන අහු මුල්ලක්

විනිවිද: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව සටන් වැදීම හේතුවෙන් එහි සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධූරයෙන් නෙරපා එම ධුරයට එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන රියාස් මියුලර් පත් කර තිබේ.ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ(20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබේ. එම ආයතනයේ පනත ප්‍රකාරව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස මෙම යෝජනාව සම්මත කරගෙන ඇති අතර වැඩිදෙනකු ගේ ඡන්දයෙන් එම පත්කිරීම සිදුකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට රියාස් මියුලර් නම් කිරීම සිදුකර ඇති අතර ඔහු මිට පෙර KPMGහි මෙරට ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධය පළකර තිබීම මෙසේ ඔහු තනතුරින් පහකිරීමට හේතුව බව පැවසෙයි. නමුදු තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රාජ්‍ය සමාගමක් වුව ද ශ්‍රී ලංකා ටෙලිකොම් හි දුරකථන ඇතුළු සියළු සන්නිවේදන ගාස්තු කාලානුරූපී ලෙස ඉහළ මට්ටමක පවතී.ඒ බව ගෘහස්ථ දුරකථන පාරිභෝගිකයන්ට පවා රහසක් නොවේ.ඒ අනුව අද ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් බොහෝ දෙනකු ද තම සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට වෙනත් දුරකතන ජාල යොදාගන්නා බව රහසක් නොවේ.

තතු දත් ආරංචි මාර්ග අදහස් දක්වන අන්දමට ශ්‍රී ලංකා ටෙලිකොම් ගාස්තු මෙලෙස ඉහළ යාමට එම දුරකතන ජාල තාක්ෂණය අති නවීන නොවීම හේතුවෙන් නඩත්තු වියදම් ඉහළ මට්ටමක පැවතීම,ආයනතයේ සේවා ධාරිතාව ඉක්මවා පරිපාලන ව්‍යුහය සැකසී තිබීම,පෞද්ගලික ව්‍යවසායනට සාපේක්ෂව නාස්තිය දූෂණය ඉහළ මට්ටමක පැවතීම ආදිය විවිධ අංශ මඟින් පෙන්වා දී තිබේ.නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් සෙසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයකට සාපේක්ෂව සේවක වැටුප් දීමනා සහ සෙසු වරප්‍රසාද ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන ආයතනයකි.නමුත් ඔවුන් මෙම සියලු වරප්‍රසාද භුක්ති විඳිනුයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් ගෙන් ලබා ගන්නා මුදල් වලින් වීම මත එහි සාධනීය බවක් දැකිය නොහැක.

තත්වය මෙසේ තිබිය දී අපට ආසන්නතම ඉන්දියාවේ සන්නිවේදන තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබේ.සුප්‍රකට ඉන්දීය දුරකතන සමාගමක් වන භාරතී එයාටෙල් 2006 ශ්‍රී ලංකාවට තම තාක්ෂණය හඳුන්වා දීමට වෙර දැරූ අවස්ථාවේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට පදනම් විරහිත චෝදනා එල්ල කොට ඔවුන්ගේ තාක්ෂණික තටු සිඳ ඉන් වසර තුනකට පසුව එනම් 2009 වසරේ ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන කටයුතු මෙහෙය වීමට සීමිත අවකාශයක් ලබා දුන් බව ද ප්‍රසිද්ධ රහසකි.ඒ අතර නිල නොලත් තොරතුරු අනුව පැවසෙනුයේ තම නවීන තාක්ෂණය ද එක් කොට ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන ජාලය හැසිරවීමට අවකාශ ලබා දෙන්නේ නම් රුපියල් දෙදහසක මාසික ස්ථාවර ගාස්තුවකට පමණක් යටත්ව දරකථන ඇතුළු සියළු සන්නිවේදන පහසුකම් නොමිලේ ලබා දීමට තමනට හැකි බව භාරතී එයාටෙල් සමාගම පවසා ඇති බවකි.එය දිනෙන් දින තහවුරු වන ශ්‍රී ලංකා ඉන්දියා සහසම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමට මහඟු පිටිවහලක් වනු ඇතැයි රජය ද දැඩිව විශ්වාස කරන බවක් පෙනෙන්නට ඇත.නමුදු හුදෙක් ජාතිකත්වය වෙනුවට ජාතිවාදී සහ වර්ගවාදී පදනමක සිට දේශපාලනය හසුරුවන සරත් වීරසේකර මන්ත්‍රී වරයා නැවත නැවතත් පවසනුයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ය. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව දැඩිව අවධාරණය කරනුයේ එය හුදු අවිද්‍යාත්මක ප්‍රකාශයක් පමණක් බව ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව ද හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කරන මහාචාර්ය වරයා, ජාතික ආරක්ෂාව නමැති වචනය ඔවුන් “සටන් පාඨයක්” කරගෙන තිබෙන බවත් කියා සිටියි.එමෙන්ම විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පවා පටහැනිව බව පෙන්වා දෙන මහාචාර්ය වරයා මෙසේ ද සඳහන් කරයි.

“වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමත් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකාරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ටේ්‍රලියානු සමාගමකට. ආණ්ඩුවේ සම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතනය විසින් තමයි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබුණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.යුද්ධයක් තිබූ කාලයේදීත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරි විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලුම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ.ආණ්ඩුව ටෙලිකොම් පාලනය කරද්දිත් එහෙම තර්ජනයක් ජාතික ආරක්ෂාවට තිබුණා. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකක දී බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලීකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.හුදෙක් රජයේ ආයතනයකින් කරන්න බැරි වූ දෙයක් ජපන් සමාගම කළා. රජයේ ආයතනවල යටිතල පහසුකම්වල ආරක්ෂාව ගැන බහුතරයක් සොයා බලන්නේ නැහැ. රජය සතු ආයතනවලට ආයෝජනය කරන්නත් බැහැ. සල්ලිත් නැහැ. මේවා පෞද්ගලීකරණය කරන්නේ යම් නියාමනයක් සහිතවයි. ඒ වගේම ඔවුන් අපි කියන දේවල් අහන්න ඕනෑ. උදාහරණයක් විදිහට එදා ටෙලිකොම් සහ ජපන් සමාගම විසින් කළ වරදක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක අලාභයක් විඳින්න සිදුවුණා. නෛතික වශයෙන් දඩයක් නොවුවත් එම මුදල යළි පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කළා” එලෙස තම අදහස් පළ කළ මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ ද කීය.

“අද හුඟ දෙනෙක් ඇමතුම් ලබා ගන්නේ වට්ස්ඇප්වලින්. වට්ස්ඇප් අයිති කාටද? වට්ස්ඇප්වලින් හුවමාරු වන දත්ත ගබඩා වෙලා තිබෙන්නේ විදෙස් රටවල. එනිසා ටෙලිකොම් වෙන්න පුළුවන් වෙනත් පෞද්ගලික ආයතනයකින් වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් අන්තර්ජාල සබඳතාව ලබා ගත්තා කියලා ඒ සමාගම්වලට දත්ත යන්නේ නැහැ. අනික් එක තමයි මේ හැම එකක්ම වෙනත් අයට පිවිසෙන්න බැරි විදිහට මුරපද සහ වෙනත් ක්‍රමවලින් අගුලු දමා තිබෙන්නේ. ඒ නිසා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළා කියලා රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්.ශ්‍රී ලංකාව තුළ ඩේටා මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. එකක් ටෙලිකොම් සමාගමට. අනිත් එක ඩයලොග් සමාගමට. මේවාවල රජයේ දත්ත ගබඩා කිරීම සඳහා කුලියට අරන් තිබෙනවා. හරියට බැංකුවක තිබෙන ආරක්ෂිත සේප්පුවකින් කිසියම් කෙනෙක් කොටසක් කුලියට ගන්නවා වගේ. එතකොට ඒ සේප්පුව පාලනය කරන්නේ කවුද? අදාළ බැංකුව ද? නැහැ. ඒ සේප්පුව කුලියට ගත් කෙනා ගාව තමයි යතුර තිබෙන්නේ. ඒ වගේ රජයේ දත්ත ගබඩාවලටත් පිවිසෙන්න පුළුවන් අදාළ නිලධාරියාට විතරයි. ජාත්‍යන්තර ක්‍රමය තමයි එය.ෆයිල් කියන්නේ පරණ චින්තනයක්. දැන් තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරගෙන තිබෙනවා. ආරක්ෂාව තර කර ගැනීමට පිටපතක් ලංකාවෙන් පිට තිබීමෙන් තමයි වැඩි ආරක්ෂාවක් තිබෙන්නේ. නමුත් එයට ප්‍රවේශ විය හැක්කේ අපට පමණයි”

මේ සියලු තත්වයන් යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පාරිභෝගිකයන්ට සහන සැලසෙන ආකාරයට වෙනත් පාර්ශවයන්ට පැවරීමෙන් රජය හරහා ඒ පාර්ශවීය ලාභය ශ්‍රී ලංකාවට ලබා ගන්නවාද?ළිඳ මගේ නම් මා ළිඳේ නම් කාටවත් ඇයි වේදනා න්‍යායට අනුව අපේ ටෙලිකොම් අප සතු විය යුතුමය යන අන්තගාමීත්වයේ රැඳෙමින් කටයුතු කරනවාද යන්න ඔබටම තීරණය කළ හැකිය.

රේණුකා දමයන්ති (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan