83 දී දෙමළ ජනවාර්ගයට එරෙහිව අධම ම්ලේච්ඡ ප්‍රහාර සිදුවන විට මට වයස අවුරුදු දහතුනකි. මේ කාලයේදී මා ජීවත්වූ නිවසට මීටර් දෙසීයක් පමණ දුරින් දෙමළ පවුලක් වාසය කරන නිවසක් තිබින. මේ නිවසේ වැඩිපුර සිටියේ කාන්තාවන් වූ අතර ඔවුන් ගමේ කාටත් කරදරයක් නොවී ජීවත්වූ පවුලකි.
83 කෝළාහලය ඇරඹුන දිනයේදී මේ නිවසේ කුමක් හෝ සිදුවනු අපේ නිවසට යාන්තමට පෙනින. පාරේ ගිය මිනිසුන් පැවසූයේ පොලු මුගුරු ගත් මිනිසුන් කන්ඩායමක් පැමින නිවසේ තිබූ බඩුබාහිරාදිය පාර මැදට ගොඩගසා ගිනිබත් කර ඇති බවය..එසේම නිවසේ සිටි දෙමළ කාන්තාවන්ගේ උඩුකය ඇඳුම් ගලවා පාරේ දන ගස්සවා පියයුරුවල හඳුන් කුරූ ගසා ඇතිබවත් ඔවුන් පැවසීය.
එහිදී මීටපෙර උදේ හවා ඔවුන් සමඟ සිනාසුන ගම් වාසීන්ද මේ අවකල් ක්‍රියාවන් නැවැත්වීමට මැදිහත් නොවූ අතර දෙමළ මිනිසුන් පීඩාවට ලක්වනු දැක සිතයටින් සතුටු වෙමින් රොක්වී ඒ දෙස බලා සිට ඇත. එසේම මේ සිදුවීම එදින පුරාම දිගින් දිගටම සිදුවෙමින් තිබුනද පොලීසිය හෝ ආරක්ෂක අංශ එය නැවැත්වීමට පැමිණ තිබුනේද නැත.
මහා ජාතියේ ජාතිවාදය රජයන බිමක කුඩා ජනවාර්ගයකට අයත් මිනිසෙකුවී ඉපදීම කෙතරම් බයානක ඉරණමක්දැයි මේ සිදුවීම සිහිපත් වන සෑම විටෙකම මට සිතේ…
එසේම දිනගනක් ඇදුනු මේ සිදුවීම් සන්සුන්වූ පසු නගරයට ගියවිට මා දුටුවේ නගරයේ තිබූ දෙමළ මිනිසුන්ට අයත් සිල්ලර හා තොග කඩයක්ද, බුලත් සුරුට්ටු කඩයක්ද සම්පූර්ණයෙන්ම ගිනිබත් කරදමා තිබූ අයුරුය. එසේම “ගොහාගොඩ පාර” යනුවෙන් හැඳින්වෙන මාර්ගයක් අසල තිබූ කෝවිලක්ද සම්පූර්ණයෙන්ම කුඩුකර දමා තිබින..
මේ දෙමළ නිවසේ සිටි මිනිසුන් සහ ගිනි තැබූ වෙළඳ සැල්වල සිටි මිනිසුන් මේ සිදුවීමෙන් පසු මා කිසිදාක නොදුටු අතර ඔවුන්ට කුමක් සිදුවූයේ දැයි දන්නා කිසිවෙකුද මට පසු කිසි දිනෙක හමුවූයේද නැත. (ඒ කාල සීමාවේ උදේ හවා බුදුන්ට මල් පහන් දල්වා වෙළඳාම අරඹන අපේ ගමේ තිබූ කුඩා කඩයක ඒ දිනවල පිටකවරය බාගෙට පිලිස්සුන සඹන් කැට, පියරු ටින් අඩු මිලට විකුණනු මා දැක ඇත. බොහෝ මිනිසුන් ඒ ගැන රහසින් පැවසුයේ ඒවා ටවුමේ ගිනිගත් දෙමළ කඩවලින් ගෙනත් විකුණන ඒවා බවය..)
ඇත්තටම මේ ම්ලේච්ඡ සිදුවීම් සුලුතර ජාතිවාදී කල්ලිවල ක්‍රියාවන් පමණක් බවත් බහුතර සිංහල ප්‍රජාව මීට එකඟ නැතිබවත් කියන ප්‍රලාපය මම නම් පිළිනොගනිමි.
මගේ අදහස නම් යම් යම් ප්‍රචන්ඩ පිරිස් මේ ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයන් වල නියැලුනු අතර එයට හිත හයිය නැති සෙසු බහුතරය ඇඟබේරාගෙන එය අනුමත කරමින් ඒ දැක කුරිරු සතුටක් විඳි බවය..
එසේම ආරක්ෂක අංශද ඒවාට නිහඬ අනුග්‍රහය දැක්වූ බවද ඔවුන්ගේ ඇතැම් අය සිවිල් ඇඳුමින් සැරසී ඒවාට සහබාගී වූ බවද වැඩිහිටියන් පවසනු එවකට කුඩා ළමයෙකුවූ මා හට එදා ඇසී තිබින..
එහිදී දකුණේ දේශපාලන බල අධිකාරයද, ආරක්ෂක අධිකාරියද මේ මැර ප්‍රචන්ඩත්වයට නිදහසේ ඔහේ ඇදීයාමට ඉඩදීම තුල විද්‍යාමාන වන්නේ මේකී දේශපාලන, සන්නද්ධ ආයතනයන්ද සිංහල මහාසමාජයේම උපරිව්‍යුහයන්ම මිස අන් කවර ස්වාධීන අධිකාරියක්වත් නොවන බවය.
එදා දිවි පරදුවට තබා දෙමළ මිනිසුන් බේරාගත් හුදෙකලා සිංහල වීරයන් ගැන ලියවුන බොහෝ කෙටිකතාවන් ඒ දිනවල මට අනන්තවත් හසුවී තිබින. නමුත් ඒවා රසවත් කෙටිකතා ලෙස මිස ඇත්ත ලෝකයේ බහුලව හමුවන කතා ලෙස අද මම විස්වාස නොකරමි ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN