සටහන – රුවන් නෙළුගොල්ල
අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සංකල්ප පත්‍රිකාවක් අත්‍යාවශ්‍ය වුවත් එවැනි සංකල්ප පත්‍රිකාවක් රජය ඉදිරිපත් කර නොමැති බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුව මූලිකව කොළ පත්‍රිකාවක් ඉදිරිපත් කර පසුව ධවල පත්‍රිකාවක් නිර්මාණය කරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව හා කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට මෙවන් සංකල්ප පත්‍රිකාවක් ඉතාම අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය මේ සම්බන්ධ සංකල්ප පත්‍රිකාවක් සකස් කර ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ද අනෙකුත් මැතිවරණවල දී ද ඉදිරිපත් කර සමාජ ගිවිසුමක් පවා ඇති කර ගත් බවත් රජය පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමකින් ඔබ්බට ගොස් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා ප්‍රබුද්ධ ප්‍රශස්ත අදහස් හුමාරුවක් හරහා ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යොමු විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යුගයේ අවශ්‍යතාවක් බවත් එය සිදුවන විට ඉලක්කගත ව මෙන්ම එම ඉලක්ක සම්පූර්ණ කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඊට අමතරව කාලවකවානු සහතික කාලසටහනක් සහිතව මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ඕනෑම ක්‍රියාවලියක් අක්‍රමවත්ව ආරම්භ වුවහොත් අවසානයත් සාර්ථක නොවන බවත් සිහිපත් කළේය.
වර්තමානයේ අප රටේ ඇත්තේ යල්පැනගිය පැරණි ක්‍රමවේද අනුගමනය කරන සම්ප්‍රදානුකූල රාමුවකට කොටු වූ කල් ඉකුත් වූ අධ්‍යාපනයක් බවත් මේ තුළින් අප රටේ සිසු පරපුරට බලවත් අසාධාරණයක් සිදු කරන බවත් අධ්‍යාපනය මානව හා මූලික අයිතියක් බවත් වත්මන් රජය කියූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් සුබසාධන ආර්ථිකයේ ඇති වැදගත් අංශ වන අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය, ජිවත් වීමේ අයිතිය, ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික දේශපාලන අයිතිවාසකම් මානව හා මූලික අයිතිවාසිකම් විය යුතු නිසා වත්මන් අධ්‍යාපනය ද යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම අධ්‍යාපනය සුහුරු වීම තුළ සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය, සුහුරු පුරවැසියා සහ සුහුරු රටක් බිහි වන බවත් අධ්‍යාපනයේ ඇති සුපුරුදු කටපාඩම් ක්‍රමය ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රටත් ලෝකයත් මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න හා අභියෝගවලට විසඳුම් ලබා දෙන පුරවැසියා නිර්මාණය කළ යුතු බවත් තොරතුරු තාක්ෂණය අප රටේ අධ්‍යාපනය තුළ අනිවාර්ය කළ යුතු බවත් විද්‍යා, තාක්ෂණය, ඉංජිනේරු, ඉංග්‍රීසි, කලා සහ ගණිතය යන ක්ෂේත්‍ර කරා යා යුතු බවත් එහි දී ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය සමස්ත පාසල් පද්ධතියේම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවයා පෙන්වා දුන්නේය.
දූදරුවන්ගේ අධ්‍යාපන මානව අයිතිය සුරක්ෂා කළ යුතුයි
කෘතිම බුද්ධිය, දත්ත විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව, මැෂින් ලර්නින් වැනි නව තාක්ෂණික අධ්‍යාපනය අප රටේ දරු පරපුරට ලබා දීම තුළ සැබවින්ම අප රටේ දූදරුවන්ගේ අධ්‍යාපන මානව අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අගමැතිවරියගේ ඉදිරිපත් කිරීමේ ගැටලු රාශියක් තිබෙනවා
අගමැතිවරියගේ ඉදිරිපත් කිරීම තුළ උපායමාර්ගික හා මෙහෙයුම් කටයුතුවල සවිස්තරාත්මකභාවයක් නොමැති බවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් ක්‍රියාත්මක කරන කාලසීමා ගැනත් පැහැදිලි නොමැති බවත් ස්පර්ශීය හෙවත් දැනෙන සුළු ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ 2029 බවත් ඒ තුළින් පාසල් අධ්‍යාපනයේ සිටින සිසුන්ගේ අඩකට වැඩි ප්‍රමාණයකට එහි ඵල නෙලා ගත නොහැකි බවත් පෙර පාසල් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ද පැහැදිලිව නොමැති බවත් මේ වැඩපිළිවෙළ තුළ ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරිම ගැන අවධානය යොමුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇල්ෆා සහ බීටා පරම්පරාවල සිතුවිලි ගැන ද සිතිය යුතු යි
උසස් පෙළ අධ්‍යාපනයේ ලබා දෙන පාසල් 3000න් 1000ක පමණක් විද්‍යා ගණිත අධ්‍යාපනය ඇති බවත් එම නිසා ගුරු පුහුණුව සහ යටිතල පහසුකම් සදහා පැහැදිලි සැලසුමක් නොමැති බවත් එමෙන්ම ගුරුවරුන්ගේ සුබසාධනය පවා නොසලකා හැර ඇති බවත් මේ පරිවර්තනාත්මක ගමන යාමට පාසල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පන්ති පැවැත්වෙන කාල සීමාව ගැන බැලීමේ දී ඇල්ෆා සහ බීටා පරම්පරාවල සිතුවිලි ගැන ද සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පශ්චාත් අධ්‍යාපන පාඨමාලා බැහැර කිරිම, ක්‍රියාකාරී ඉංග්‍රීසි නිපුණතාව නොසලකා හැරීම, කෘතීම බුද්ධිය ගැන අවධානයක් යොමුව නොමැති බවත් අවදානම් ලක්වූ ප්‍රදේශ සදහා ඉලක්කගත වැඩපිළිවෙළක් මෙන්ම පෝෂණ වැඩසටහන ගැනද සදහන් නොමැති බවත් 240000කට වැඩි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ ගැන ද පැහැදිලි ක්‍රමයක් නොමැති බවත් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ සීමාසහිත මුදලක් බැවින් එම මුදල මෙහි දී වැඩිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉතිහාසය අනිවාර්ය විෂයයක් විය යුතුයි
පරිගණක සහ තොරතුරු තාක්ෂණ අනිවාර්ය වනවා සේම ඉතිහාසය ද හර විෂයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවයට එය වැදගත් බවත් ඉතිහාසය යනු කරුණු කටපාඩම් කිරිමක් නොව රටක පුරවැසියන්ගේ පදනම ගොඩනගන මානව ශාස්ත්‍රය බවත් පොදු උරුම සංස්කෘතික වටිනාකම් අවබෝධ කර ගන්න එය උපකාරී වන බවත් අතීත සිදුවීම්වලින් හේතුඵල සබදතා අවබෝධ කර ගැනීම තුළින් විචාරාත්මක චින්තනය ගැටලු විසදීම ආදීය වර්ධනය වන බවත් එම නිසා ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (ජුලි 24) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ය.
