විකල්ප මග:යටත් විජිතවාදී ණයගැති ආර්ථික ව්‍යුහයෙන් මිදෙන මග!

Date:

කොළඹ LNW:ගයන්ත දෙහිවත්ත ලියූ විකල්ප මග: යටත් විජිතවාදී ණයගැති ආර්ථික ව්‍යුහයෙන් මිදෙන මඟ පොත මගින් කතුවරයා තැත්කර ඇත්තේ වර්තමානයේ ක්‍රියාත්මක වන “නියෝලිබරල් වෙළෙඳ පොල ආර්ථික න්‍යාය අනුව සකස් වී ඇති” ආර්ථික රාමුවට විකල්ප ක්‍රමයක් යෝජනා කිරීමටය. විකල්පයක් අවශ්‍ය ඇයි? මේ ආර්ථික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ තබා ඇති සටහන් බෙහෙවින් අහිතකර ඒවා වේ. “රටේ රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීම, කෘෂිකර්මාන්තය කඩා වැටීම, ආදායම් විෂමතාව වැඩි වීම, දුගී බව වැඩි වීම, ආර්ථික මර්මස්ඨාන විදේශිකයන්ට විකිණීම, පොදු දේපොළ පෞද්ගලිකකරණය සහ අධික විදේශ ණය” ඉන් සමහරකි. (5 පිටුව) මෙහි අවාසනාවන්තම ප්‍රතිඵලය ලෙස කතුවරයා දකින්නේ රට ණය උගුලක හිරවීමය. මේ ව්‍යසනයෙන් මිදීමට නවලිබරල්වාදයෙන් බිදුන “දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති දහයක්” මත පදනම් වූ පරිපථමය මාරුවක් හේ යෝජනා කරයි. (7 පිටුව) එකී ප්‍රතිපත්ති වෙන වෙනම ගෙන ඒ මගින් ආර්ථිකය මත ඇතිකරන ප්‍රතිවිපාක සාකච්ඡා කිරීම අර්ථවත් වුවත් ඒ සඳහා පුළුල් අවකාශයක් වෙන් කළ යුතු වෙන හෙයින්, මුලින් ඒවා ලැයිස්තුගත කර ඒ ප්‍රතිපත්ති කට්ටලය සාර්ව ආර්ථිකය මත ඇති කරන ප්‍රතිඵල සලකා බැලීමට මෙහිදී යෝජනා කෙරේ.

ප්‍රතිපත්ති කට්ටලය
ගයන්ත දෙහිවත්ත යෝජනා කරන දස වැදෑරුම් විකල්ප නිර්දේශ පහත සාරාංශ කෙරේ.

  1. ඩොලර්හරණය සහ බහුවිධ මූල්‍ය සංචිත හා ගනුදෙනු
  2. බලශක්ති ස්වාධිපත්‍යය
  3. ආහාර ස්වායත්තතාවය
  4. මූල්‍ය සහ බැංකු ක්‍රමය මත රාජ්‍ය පාලනය
  5. ආර්ථික ස්ථායිකරණය
  6. ජාතික ආරථිකය ආරක්ෂණය
  7. සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති
  8. පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති
  9. ආදායම් විෂමතා අවමකරන බදු ප්‍රතිපත්ති
  10. විජිත ආර්ථික රටාවන්ගෙන් බිදීම

මෙම දස වැදෑරුම් ප්‍රතිපත්ති කට්ටලය සත්‍ය වශයෙන් නව ලිබරල්වාදී වොෂින්ටන් සම්මුතියෙන් ගුණාත්මකව වෙනස් වේ. සාරගර්භ සමතාවය (substantive equality) සහ පාරිසරික ආරක්ෂණය එහි මුලික අංගවීම වැදගත් වෙනසකි. සමතාවය වෘද්ධියේ ඵලයක් ලෙස දකිනු වෙනුවට එය විකල්ප මගෙහි නිර්ණායකයක් කෙරේ. පරිසරයද එසේමය. ධනේශ්වර සමුච්චනය පරිසරය සලකන්නේ අතිරික්ත වටිනාකම් උද්ධරණය හරහා ධනය කෙසේ හෝ වර්ධනය කරගන්නා වසමක් ලෙසයි. මෙහි අනීවාර්‍ය ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ පැවැත්මම අද ප්‍රධාන ගෝලීය ගැටලුවක් වි ඇත.

විකල්ප මගක් යෝජනා කිරීමේදී ගයන්ත වැඩි අවධාරණයකින් සාකච්ඡා කරන මාතෘකාවක් වන්නේ මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්තියයි. නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වට්ටෝරුව ෆිස්කල් හිඟය මූලික ප්‍රශ්නයක් කොට ගන්නේ ඒ නිසාය. මෙයින් ගලා එන ප්‍රධාන අදහස් මෙසේ සාරාංශ කළ හැක.

  1. ආර්ථිකයක අස්ථාවරත්වයේ මූලික හේතුව රාජ්‍ය අයවැය හිඟය ය.
  2. පෞද්ගලික අංශ ගනුදෙනු අත්‍යන්තයෙන්ම සමතුලනය වන්නේ ය.
  3. අයවැය හිඟය පියවීමට රජය මධ්‍ය බැංකුව වෙතින් ණය ලබා ගැන්ම නිසා රටේ අධි-ශක්ති මුදල් (high-powered money) ප්‍රමාණය නැත්නම් මූල්‍ය පදනම ප්‍රසාරණය වේ.
  4. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඉල්ලුම වැඩිවේ. ආනයන වැඩිවේ. ඒ නිසා ගෙවුම්ශේෂ හිගයක් නිර්මාණය වේ.
  5. මෙම අසමතුලනය නැති කිරීමට කළ යුත්තේ නෝට්ටු සහ කාසි නිකුත් කරන මහ බැංකුව ආංඩුවෙන් වෙන්කොට ස්වාධීන කිරීම ය.

උක්ත පස් වැදෑරුම් න්‍යායයාත්මක හා ප්‍රතිපත්ති කට්ටලය ගයන්ත ප්‍රතික්ෂේප කරයි. ඔහු යෝජනා කරන විකල්ප මග අතීත සංවර්ධන අත්දැකිම් මත පිහිටා ගොඩ නැගූවකි. ගයන්ත ඉදිරිපත් කරන අදහස් කිසියම් ප්‍රමාණයකට නව මූල්‍ය න්‍යාය (The modern monetary theory) සමග සමරූප වන්නේ යැ යි කෙනෙකුට තර්ක කළ හැක. ආර්ථිකයේ සමස්ත සම්පත් පූර්ණ ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර නොගත් සන්දර්භයක මුදල් නිෂ්පාදන සාධකයක් ලෙස යොදා ගැන්මේ විභවය ස්ටෙෆානි කෙල්ටන් තම Deficit Myth පොතේ පැහැදිලිව පෙන්වා දී ඇත්තේය. ගයන්තගේ විකල්ප මඟ වර්තමාන ජාතික ජන බලය ආණ්ඩුවේ ඇස් ඇරවන්නක් වන්නේ නම් එය කතුවරයාගේ අරමුණ ඉටු වෙන්නකැයි කිව හැක.

මහාචාර්ය සුමනසිරි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට එදත් අදත් හිටියේ ටිල්වින් අයියා විතරයි ….!

ජනතා විමුක්ති පෙරමුණට කාලයක් තිස්සේ ආධාර කරන, පක්ෂයේ ඉහළ...

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...