කොළඹ LNW:දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව නොපිළිගෙන ක්‍රියා කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.
පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් එය නොපිළිගෙන ක්‍රියා කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවෙන් ඉතාම පැහැදිලි බවද මන්ත්‍රීවරයා කියාසිටියි.
”මෙතනදී ඔහුගේ තර්කය වන්නේ ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේම දිගුවක් නිසා, එය පාර්ලිමේන්තුවේ කටයුත්තක් ලෙස සැලකිය යුතු බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් අධිකරණයක මැදිහත් වීම පිළිගත නොහැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කරන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. මෙහි වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරන ලද්දක් වුණත්, එය පාර්ලිමේන්තුවේ දිගුවක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ තියෙන වෙනත් කාරක සභා ආකාරයේ ආයතනයක් නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාවෙත්, ඒ වගේම අයවැය පිළිබඳ කාරණා වලදීත්, ගැසට් කර තිබෙන්නේ විධායකයේ කොටසක් හැටියටයි. එයට හේතුව, එහි වගකීමත්, විධායකයට වගකියන පොලිස්පතිවරයා, නීතිපතිවරයා, මහජන උපයෝගිතා සභාපතිවරයා වැනි ප්‍රධාන ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සඳහා කටයුතු කිරීමයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්, ඒ වගේම අධිකරණයේ වෙනත් අධිකරණ වල විශේෂයෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරන් ආදිය පත්කිරීම පිළිබඳ කාරණාත් එයටම ඇතුළත් වෙනවා. ඒ නිසා මෙය පාර්ලිමේන්තුවේ දිගුවක් ලෙස සැලකීම වැරදියි.
ඒ වගේම පාර්ලිමේන්තුවට අධිකරණ බලය ලබාදී තිබෙන බව ඇත්තයි. නීති තැනීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බව ඇත්තයි. එම නීති තැනීමේ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණයට පවරා දී තිබෙනවා. එතැනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දී තිබෙන ප්‍රධාන ම වගකීම වන්නේ ව්‍යවස්ථාවට අනුව රට කරගෙන යනවාද කියන එක පිළිබඳව සොයා බැලීම හා ඒ පිළිබඳ නියමයන්, විමර්ශනයන් සිදුකිරීම. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙතන දී සිදුකර තිබෙන්නේ, පොලිස්පතිවරයා පත්කිරීම සඳහා අනුගමනය කළ යුතු ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගය, ඔවුන් අනුගමනය කළාද, අදාළ ව්‍යවස්ථාදායක සභාව කියන එක, සොයා බැලීමයි. මේ පිළිබඳව ලොකු විවාදයක් ඇතිවුණා. මොකද, ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් පිරිස එනම් ඡන්ද පහක් ලැබිය යුතු වුණත් පොලිස්පතිවරයාට ලැබුණේ ඡන්ද හතරක් පමණයි. ඒ වගේම කතානායකවරයා සිය තීරක ඡන්දය පාවිච්චි කරන්නේ ඡන්ද සම වුණොත් පමණයි. එතනදී විරුද්ධව දෙකකුත්, අදහස් පළ නො කරපු ස්වාධීනව දෙකකුත්, පක්ෂව හතරකුත් ලැබුණා. ඉතින් අර විරුද්ධව ලබා දීපු දෙක එයට අමතරව ස්වාධීනව ඡන්දය පාවිච්චි කරපු දෙදෙනාත් විරුද්ධ වුණා යැයි කියන පදනමින් සලකලා කතානායකවරයා විසින් මේ ව්‍යවස්ථාවේ අඩංගු මේ ප්‍රතිපාදනයට නව අර්ථ දැක්වීමක් කරලා තමයි ඔහුගේ තීරක ඡන්දය පාවිච්චි කරලා මේ පොලිස්පතිවරයා පත් කළේ. ඒ වගේම මේ පොලිස්පතිවරයා පත් කිරීම සඳහා වූ ඒ ගමන අපට පේනවා යම් දේශපාලන අරමුණක් ඔස්සේ මෙහෙයවුනු බව. මොකද ජනාධිපතිතුමා මීට ප්‍රථම හිටපු පොලිස්පතිවරයා, වික්‍රමරත්න මහත්මයාගේ ධූර කාලය අවසන් වුණහම ඔහුගේ කාලය දීර්ඝ කරමින්, ගමන් කරන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී, මේ පොලිස්පතිවරයාත්, මේ පොලිස් ඇමතිවරයාත් රට තුළ විශාල කලබගෑනියක් ඇති කළා. එම පොලිස්පතිවරයා අසාර්ථක පොලිස්පතිවරයෙක් බව පෙන්වීමට. ඒ වගේම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් සහ ඔවුන් නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටින පිරිස් එම තවත් සේවා දිගු ලබා දීම වැළැක්වීමට කටයුතු කළා. ඒ වගේම ඊළඟට සිටින නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් දේශබන්ධු තෙන්නකෝන් මහත්මා, නිලන්ත ජයවර්ධන මහත්මා, පතිනායක මහත්මා ඇතුළු ඒ සියලු දෙනාටම යම් යම් ආකාරයේ විනය ප්‍රශ්න මත අධිකරණ හා තවත් විශේෂයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කාරණාවලදී චෝදනා තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා මානව හිමිකම් නඩු වලින් වරදකරුවෙක් වෙලා තියෙනවා විතරක් නෙවෙයි. ඔහුට එරෙහිව ඔහුගේ කාලය තුළ විවිධ අකටයුතු පිළිබඳ චෝදනා රැසක් පැන නැගිලා තියෙනවා. ඒක මේ මුළු රටම දන්න කාරණයක්. පොලිස් දෙපාර්තමේන්තුවත් දන්න කාරණයක්. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය එහි ස්වාධීනත්වයත් අගයමින් නීතිය හා සාමය ගෙනියන්න පුළුවන් ඍජු පොලිස්පතිවරයෙක්, එහෙම නැතුව පොලිස් ඇමතිගේ හෝ ජනාධිපතිගේ හෝ ඒ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ හෝ අතකොළුවක් හැටියට නීතිය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම රහස් පොලිසිය, බුද්ධි අංශ ඒ වගේම පොලිස් විමර්ශන කටයුතු ආදිය කිසිම ආකාරයක මැදිහත්වීමකින් තොරව කරන ඍජු පොලිස් නිලධාරියෙක් තමයි අවශ්‍ය. ඒ වගේම ඔහුට පොලීසියේ විශ්වසනීයත්වය දිනා ගැනීමත් අවශ්‍යයි. අද අපිට පේනවා පොලිසිය ඇතුලේ එවැනි කිසිම විශ්වසනීයත්වය ගොඩනගා ගැනීමක් නෑ. සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු අධිකරණයේ සහය පවා පතලා තිබෙනවා. තමන්ගේ ඊළඟ උසස්වීම් පිළිබඳ කාරණා සම්බන්ධයෙන්.
ඒ නිසා ජනාධිපතිවරයා මේ මොහොතේ රට තවත් අවුල් ජාලා වලට ඇද දමමින් කටයුතු කරන් නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීරණය අනුව වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයෙක් පත් කිරීමයි. ඉතින් ඔහු ඒකට තර්කයක් හැටියට ගේනවා නම් ඔහු ඡන්දය ඉල්ලනවා කියලා ඔහු තාම නාමයෝජනා ඉදිරිපත් කරලත් නැහැ. නාමයෝජනා ඉදිරිපත් කළත් ඔහු රටේ ජනාධිපති. ඒක ඔහුගේ වගකීමක්. ඔහු ඒ වගකීම ඉටු කරන්නේ නැත්නම් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒක ඒක ඒ වගේම ඔහු මේ කාර්යය කරන්නෙත් වැඩබලන ජනාධිපතිවරයෙක් හැටියටයි. ඒ නිසා ඔහු සෘජු ඡන්දයෙන් පාවිච්චි වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඔහුට ව්‍යවස්ථාවේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් එම නිසා ඔහු මේ අවස්ථාවේ ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලවයි. එසේ නොමැතිව මේ රටේ නීති ක්ෂේත්‍රයත්, නීතිය පිළිබඳ උනන්දුව දන්න පිරිසුත් ඒ වගේම විදේශමය වශයෙන් අපේ රට දිහා බලන් ඉන්න පිරිසුත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදිය විසින් ඉදිරිපත් කරලා තියෙන බොහෝ දෑ පිළිබඳ ආණ්ඩුව බොහොම උත්කර්ෂයෙන් කතා කරනවා. එහි තිබෙන යහපාලන මූලධර්මත් සියල්ලම උල්ලංඝනය කිරීමක් තියෙන්නේ.
වඩාත්ම වැදගත් දේ තමයි එළඹෙන ජනාධිපතිවරණය තමන්ට රිසි ආකාරයට හසුරවා ගැනීමට හැකි පොලිස්පතිවරයෙක් යොදා ගැනීමට දරන උත්සාහය ඉතාමත්ම වැරදි සහගතයි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ඉන්නවා. ඔවුන් අතරින් දැනට යම් යම් ක්ෂේත්‍රවල චෝදනා නැති පිරිසිදු, ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සඳහා පත් කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. ඒ වගේම මැතිවරණයට මෙයින් කිසිම බාධාවක් නැහැ. මොකද මැතිවරණය සඳහා පොලීසියෙන් දැනටමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරලා තියෙනවා. ඒ සඳහා තමන්ට කිසිම ප්‍රශ්නයක් නැති බව මැතිවරණ දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ නිසා මේ මැතිවරණයත් මැදිහත් කරගෙන මේ දේශපාලනයක් ගෙනියන ඇමතිවරු කිහිප දෙනෙක් මේ රජය ඇතුලේ ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ මේ රට තියෙන්නේ බංකොලොත්භාවයක කියලා. ඔවුන් දන්නේ නැහැ මේ රටේ ජනතාව දැන් ඉල්ලා සිටින්නේ යුක්තිය කියලා. ඒ වෙනුවට මේ නොයෙක් නාටක කරමින් මේ පොලිස් දෙපාර්තමේන්තුව පහුගිය කාලයේ අතිශය බරපතල අර්බුදයකට ගමන් කෙරෙව්වා. ඒ බරපතල අර්බුදයේ ප්‍රමාණය අද පාරවල් වල කරන වෙඩි තැබීම් වලින් පේනවා. මත්ද්‍රව්‍ය මර්දනය කළායි කිව්වට කිසිම මත්ද්‍රව්‍ය මර්දනයක් කෙරිලා නැහැ. ඒ පිළිබඳව අපිට පේනවා කල්ලි හැදිලා ඉතාම බරපතල ප්‍රශ්න පොලිසිය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට නම් අනිවාර්යෙන්ම අනාගත පියවරක් ගන්න වෙනවා මේ නීතිය හා සාමය අවභාවිතා කරපු අයට එරෙහිව අනාගත රජයක් අනිවාර්යෙන්ම පියවර ගත යුතු වෙනවා. ඒ ගන්නකන් මේ කාලය තුල වහාම කලයුතු වන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාදාමය පදනම් කරගෙන තාවකාලික පොලිස්පති කෙනෙක් පත් කිරීම. ඒ වගේම මෙතනදී පොලිස්පතිවරයා ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරලා නෑ. ඒක බොහොම වැදගත් කාරණයක්. මොකද පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. ඒ යෝජනාවක් සම්මත කිරීමෙන් පමණයි. මේ කර තිබෙන්නේ පොලිස්පතිවරයා පත්වීමේ ක්‍රියාවලිය විමර්ශනය කිරීමට යාමක්. ඒ සඳහා වූ තාවකාලික පියවරක් මේ කරලා තියෙන්නේ.
ඒක නිසා මේ පොලිස්පතිවරයා ඉවත් කරන්න තීරණය කළා කියලා අග්‍රාමාත්‍යවරයා කිව්වේ පට්ටපල් බොරුවක්. එවැනි දෙයක් සිදුකර නෑ. පොලිස්පතිවරයා නිසි ආකාරයට පත්වෙලා නැත්නම් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රශ්නයක් පැනනගින්නේ නැහැ. පත්වීමම නීති ඉවත් කිරීමේ ප්‍රශ්නයක් පැන නගින් නෑ. ඒ පත්වීමේ ක්‍රියාදාමයයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය විමර්ශනයට ලක් කරන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා ඔහුගේ දේශපාලන ජීවිතයේ මේ අවසාන වකවානුවේ තවත් ආකාරයකට තමන්ගේ චරිතය විනාශ කර ගන්නේ නැතුව කාලාන්තරයක් දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මේ ත්‍රාඪ ඇමතිවරුන්ගේ සහ ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාදාමයන්ට අනුව නැටවෙන්නේ නැතුව මේ පිළිබඳව විධිමත්ව පාර්ලිමේන්තුවත් එක්ක කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කතානායකවරයාත් එහෙම කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායකතුමා ගත්ත ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාවට එකඟද? නැද්ද කියලා එතුමාගේ අර්ථ නිරූපණය නෙවෙයි වැදගත්. ඒ සඳහා නීතියේ බලය ලබා දීපු, ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය වැදගත්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ලබන නොවැම්බර් මාසයේදී, කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකන් මේ ආකාරයට, මේ අර්බුද ඇති නොවන ආකාරයට, රට පාලනය කිරීමේ වගකීම, ජනාධිපතිවරයා ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුණොත්, ඇත්ත වශයෙන්ම නීතිය පිළිබඳ කටයුතු කරන ආයතන, විනිසුරන් ඒ වගේම නීතිඥ ප්‍රජාව සහ රටේ සාමාන්‍ය මහජනතාව මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම විරෝධතා ක්‍රියාවලියකට යොමු වීම වැළැක්වීම නොහැකියි. පසුගිය දවස්වල අපි දැක්කා තමන්ට එකඟ නැති විනිසුරන් සම්බන්ධයෙන් පවා යම් යම් ප්‍රකාශ කරමින් ගමන් කරපු ආකාරයත්, ඒ වගේම බොහෝ අවස්ථාවල ඇතැම් නීතිඥවරුන්ට, කුඩුකාරයින්ට පෙනී ඉන්නවා කියලා චෝදනා කරපු අවස්ථාවක්. ඒ කුඩුකාරයින්ට පෙනී ඉන්නවාය නීතීඥයින් කියලා කියපු ඇමතිවරයා තමන් වෙනුවෙන් පෙනී හිටපු නීතීඥ පහුගිය නඩු වලදී කා වෙනුවෙන්ද ඉදිරි කාලයේදී පෙනී හිටියේ? අතීතයේදී, වෙලේ සුදාට එහෙම පෙනී හිටියේ කවුද කියලා හොයා බැලුවා නම්, රටට පෙනෙයි, මේ මොන තරම් වංචාවක්ද මේ රට ඇතුලේ, මේ කුඩුකාරයින්ට විරුද්ධව සටන් කරනවා කියලා කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා, කුඩුකාරයින් පිළිබඳවත්, හොර සල්ලි පිටරට සඟවාගෙන ඉන්න මැති ඇමතිවරු පිළිබඳවත්, අනිත් කාරණා පිළිබඳවත්, මහජනයා ඊළඟ ජනාධිපතිවරණය දැනුවත් වෙයි. නැවත මෙවැනි දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරනවා.” යනුවෙන් රණවක මහතා අවධාරණය කරයි.
ASK