*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

දින පනස් හතක තරගයේ ආරම්භය ….

මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. ජූලි 26 සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස කලින් සිටම තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා ඒ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරමින් සිටිනවා. නිල අපේක්ෂකයින් ලෙස තවත් අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වනු ඇතත්, තරඟය තිබෙන්නේ අනුර, සජිත් හා රනිල් අතර බව පැහැදිලි කරුණක්.

මේ ජනාධිතිවරණය පැවැත්වෙන්නේ සුවිශේෂී තත්ත්වයක් තුළයි. පළමුව, මිනිස්සුන්ට ඇඟටම දැනෙන, ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇවිත්, ඒ ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ මිනිස්සු පාරට බහිනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම ලෙස එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා. නමුත් ඒ විදිහට පාරට බහින මිනිසුන්ට ආර්ථික අර්බුදයට පැහැදිලි විකල්ප විසඳුමක් හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පිළිබඳව පොදු අදහසක් නැහැ. අවසාන වශයෙන්, අරගලයේ ප්‍රතිඵලයක් විදිහට, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වෙනවා.

දෙවනුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරද්දී පුළුල් ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වී රටේ ආර්ථිකය නැවතත් යහපත් දිශාවකට තල්ලු වෙනවා. විදේශ සංචිත වර්ධනය වී රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල පහළ යනවා. ඉතිහාසය අනුව බැලුවත්, ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලුවත්, ඉහළම මට්ටමක තිබුණු උද්ධමනය ඉතාම අඩු මට්ටමකට පහත වැටෙනවා. උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මුලින් ඉහළ දමනු ලබන පොලී අනුපාතික තනි අංකයකට එනවා. හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය වෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ “වැඩ කරන” බව මුලින් ගොඩක් අයට නොතේරුණත් එය බොහෝ දෙනෙකුට දැනෙන්න ගන්නවා. ජනාධිතිවරණය පැවැත්වෙන්නේ රට ලොකු අගාධයකට වැටිලා නැවත ඒ අගාධයෙන් එළියට පැමිණ සිටින පසුබිමක.

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, ජනාධිතිවරණ සටන තුළ කාලයක් තිස්සේම ඉදිරියෙන් සිටියේ මුලින්ම සටනට අවතීර්ණ වූ අනුර කුමාර දිසානායක. මේ ජනමතසමීක්ෂණ කිසිවක් සර්ව සම්පූර්ණ නොවුනත්, 3%කට ආසන්න ඡන්ද පදනමක සිටි මාලිමාව ඒ ඡන්ද පදනම විශාල ලෙස වර්ධනය කරගෙන සිටින බව පැහැදිලි කරුණක්. ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවටම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව පේන්නේ මාලිමාවට සහයෝගය දක්වන අයයි. ඒ බලාපොරොත්තු කඩ වුවහොත් එය ඔවුන්ට විශාල කම්පනයක් වෙන්න පුළුවන්.

තමන්ගේ ඡන්ද පදනම විශාල ලෙස වැඩි කරගෙන සිටියත් මාලිමාව 50% සීමාවට ඇවිත් නැහැ. මම හිතන්නේ එම පක්ෂයේ ඉහළ ස්ථරයට මේ පිළිබඳ සෑහෙන තරමට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. තුන් කොන් සටනකදී දෙවන හා තෙවන මනාප වලටද වටිනාකමක් ලැබෙන නමුත් මාලිමාවට දෙවන හා තෙවන මනාප පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ පළමු වටයේදීම අවශ්‍ය ප්‍රතිශතය ලබා ගන්නයි. ඔවුන්ට එවැනි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වන තවත් හේතුත් තිබෙනවා.

ජවිපෙ කියා කියන්නේ සංවිධාන ශක්තිය අතින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන් සිටි පක්ෂයක්. ජවිපෙ ඒ ලක්ෂණය මාලිමාව ඇතුළටත් සාර්ථක ලෙස පොම්ප කර තිබෙනවා. මාලිමාව පැත්තට නැඹුරු වෙන කෙනෙක්ව ඒ පක්ෂය ලේසියෙන් අත අරින්නේ නැහැ. මොනවා හෝ වගකීම් දී ඔවුන්ව ඇද බැඳ තියා ගන්නවා. ඒ හරහා ඔවුන් තමන් වෙත අලුතෙන් එකතු වූ කණ්ඩායම් කෙසේ හෝ රඳවා තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අතරම, කොට්ඨාශ මට්ටමින් දත්ත එකතු කරමින් හා එම දත්ත මත පදනම්ව ඉලක්ක සකස් කර ගනිමින් ඉදිරි දින 57 තුළ 50% ඉලක්කය වෙත යාමට උත්සාහ කරමින් සිටිනවා.

කෙසේ වුවත්, මාලිමාව වටා මෙසේ විශාල පිරිසක් එක්රැස් වීමට හේතු වූයේ ඔවුන්ගේ සංවිධාන ශක්තිය නෙමෙයි. විශාල පිරිසක් ප්‍රධාන පක්ෂ දෙක සමඟම කලකිරීමයි. ඒ කලකිරීමට ප්‍රධානම හේතුව වූයේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදයට හේතුව සුළු පිරිසක් විසින් රටේ ධනය හොරකම් කර ගැනීම ලෙස සලකමින්, හොරකම් නොකරන පිරිසක් බලයට පත් කර ගෙන, ඒ මගින් තමන්ගේ ජීවන මට්ටම සුඛිත මුදිත කර ගැනීමට ඔවුන් මාලිමාව වටා එක්රැස් වී සිටිනවා. ඔවුන්ව දිගටම තමන් වෙත රඳවා ගන්නට මාලිමාවේ සංවිධාන උපක්‍රම පිටිවහල් වී ඇතත්, ඒ උපක්‍රම වල උදවුවෙන් අලුත් පිරිස් මාලිමාව වෙත එකතු කර ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් මේ වන විට අහෝසි වෙලා.

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, දිගින් දිගටම දෙවන තැන සිටියේ සජිත් ප්‍රේමදාසයි. පසුගිය මාස වලදී සජිත් හා අනුර අතර තිබුණේ ජනමතසමීක්ෂණයේ ප්‍රකාශිත මිනුම් වරදටද වඩා අඩු පරතරයක්. සංඛ්‍යානය අනුව, එයින් අදහස් වන්නේ සජිත් අනුරට වඩා ඉදිරියෙන් සිටින්නටද සැලකිය යුතු සම්භාවිතාවක් ඇති බවයි. අනුරට මෙන් නොව සජිත්ට දෙවන මනාප සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක්ද තිබෙන නිසා, මුල් වටයේදී අනුර පළමු තැනට ආවත් බොහෝ දුරට එහි තිබෙන්නේ සජිත්ට වාසිදායක තත්ත්වයකුයි. ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවෙතත්, මාලිමා කණ්ඩායම 50%ක් ලබා ගැනීමට ඉලක්ක කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ තත්ත්වයයි.

මාලිමාවේ ඉහළ ස්ථරයේ සිටින අයගේ ප්‍රකාශ අනුව, ඔවුන් මුල සිටම මෙන් මේ ජනාධිතිවරණය දෙස බලා තිබුණේ තුන් කොන් සටනක් ලෙස නොව අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් ලෙසයි. මාලිමාවේ පැත්තෙන් බැලු විට මේ ප්‍රවේශයේ වැරැද්දක් නැහැ. කෙසේ වුවත්, ඔවුන් බොහෝ අවස්ථා වලදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සජිත් වෙනුවට රනිල්ව හඳුනාගෙන තිබුණු බවක් පෙනී ගියා. ඒ රනිල් අඩු වශයෙන් තමන්ගේ ජනාධිතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර නොතිබුණු පසුබිමකයි.

මාලිමාව විසින් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස රනිල්ව හඳුනා ගැනීම එක පැත්තකින් නිවැරදියි. රටේ ජනතාවගේ තක්සේරුව හරියටම දැන ගන්න ලැබෙන්නේ ජනාධිතිවරණයෙන් පසුව වුවත්, පසුගිය දෙවසරකට නොඅඩු කාලය තුළ රටේ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵල මේ වන විට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. මේ ජනාධිතිවරණයේදී කිසිදු අපේක්ෂයෙකුට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය මග හැර යාමේ හැකියාවක් නැහැ.

මේ වන මේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියෙහි කොටස් රටේ නීතිය බවටද පත් කර අවසන්. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට යම් හෙයකින් නැවතත් ජනාධිපති විය හැකි වුවහොත් එම සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වන බව පැහැදිලියි.

සජබ ආර්ථික ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තියෙන් විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, එම පක්ෂයට මේ ආර්ථික ප්‍රතිපත්තිය බරපතල ලෙස විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, මිනිස්සුන්ගේ පැත්තෙන්, රනිල්ගේ හා සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැතිව යනවා. එය ජනතාව කොයි අයුරකින් විනිශ්චය කරයිද යන්න පැහැදිලි නැහැ.

මෙයින් වෙනස්ව මාලිමාව ජනතාව වෙත යන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විවේචකයෙකු ලෙසයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉස්මතු වන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල “හිමිකාරත්වය” වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ මිස පැත්තක සිට “කොඩියක් වනන” සජිත් ප්‍රේමදාස නෙමෙයි.

යම් හෙයකින් 50% ඉක්මවන ජනවරමක් ලබා ගත හැකිනම්, මාලිමාවට රටේ ආර්ථිකය හා සම්බන්ධව ඔවුන්ගේ “විද්‍යාගාර පරීක්ෂණ” සිදු කිරීම සඳහා සදාචාරත්මක හැකියාවක් මෙන්ම ප්‍රායෝගික හැකියාවක්ද ලැබෙනවා. ගෝටාබය රාජපක්ෂටද මෙවැනි “විද්‍යාගාර පරීක්ෂණ” සිදු කළ හැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ජනවරම ඔහුට ලැබී තිබුණු නිසා. වත්මන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් විසින් වෙන වෙනම හෝ 50% ඉක්මවන ජනවරමක් ලබාගතහොත්, ඔවුන් කිසිවෙකුට බලයට පත් විය නොහැකි වුවද, අවශ්‍ය සදාචාරත්මක හා ප්‍රායෝගික හැකියාව මාලිමාවට ලැබෙන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ චරිත ලක්ෂණ අතින් ලංකාවේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට වඩා බොහෝ වෙනස් අයෙක්. මේ චරිත ලක්ෂණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති නැහැ. එමෙන්ම අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ඔහුට තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය හෝ ලබාගත හැකි වූයේ නැහැ. එවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මනාප 305,744කුත්, අනුර කුමාර දිසානායක මනාප 49,914කුත් ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ විසින් ලබාගත්තේ මනාප 30,875ක් පමණයි.

ජනප්‍රියත්වය ගිලිහී සිටි රනිල් වික්‍රමසිංහව මුලින් ජනප්‍රියව සිටියත් පසුව එම ජනප්‍රියත්වය අහිමි කරගෙන සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ලෙස පත් කර ගනිද්දී විපක්ෂ කඳවුර තුළ ඔහුගේ ජනප්‍රියත්වය තවත් පහළට වැටුනා වගේම ඔහුව රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකු ලෙස ලේබල් වීමක්ද සිදු වුනා. “රනිල් රාජපක්ෂ” යන්න ප්‍රචලිත යෙදුමක් බවට පත් වුනා. එහෙත්, මීට සමාන්තරව පොහොට්ටු කඳවුර තුළ රනිල්ට යම් වීරත්වයක්ද ආරෝපණය වෙන්නට පටන්ගෙන තිබෙනවා. ජනමතසමීක්ෂණ තුළ රනිල්ගේ ප්‍රතිශතය වේගයෙන් 15% දක්වා ඉහළ යාමෙන් පිළිබිඹු වන්නේ එයයි.

කෙසේ වුවත්, ජනාධිපතිවරණය ජයගැනීම තවමත් ඔහුට ඉතා දුරස්ථ ඉලක්කයක්. මේ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් කඩුළු තුනක් පැනිය යුතුයි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව පළමු කඩුල්ල ආසන්නයට පැමිණ සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්ව සිටින පසුබිමක වෙනත් පොහොට්ටු අපේක්ෂයෙකු සඳහා තවදුරටත් විශාල ඉඩක් ඉතිරි වී නැහැ. යම් හෙයකින් පොහොට්ටු අපේක්ෂයෙකු තරඟයට පැමිණියහොත් එවැන්නෙකු විසින් ලබා ගැනීමට ඉඩ තිබෙන ලජ්ජාසහගත ඡන්ද ප්‍රතිශතය අදාළ අපේක්ෂකයාට සහයෝගය දීමට ඉදිරිපත් වන පොහොට්ටු දේශපාලනඥයින්ට ඉදිරි මහ මැතිවරණයකදී තේරී පත් වීමට තිබෙන හැකියාව කෙරෙහිද බලපෑම් කිරීම නොවැලැක්විය හැකියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අවම වශයෙන් දින 52ක් යන තුරු මහ මැතිවරණයක් නොපැවැත්වෙන බැවින්, ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පවත්වනු ලැබීමේ ඉඩක් නැතත් අනුර හෝ සජිත් ජයගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. යම් හෙයකින් රනිල් ජයගත්තද මේ තත්ත්වයේ වෙනසක් නොවිය හැකියි. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත මැතිවරණයකට යාම පිළිබඳව මේ මොහොතේ සිතන්නම වෙනවා.

රනිල්ට සහයෝගය ඉල්ලමින් ජනතාව වෙත යන පොහොට්ටු මන්ත්‍රීවරයෙකුට කියන්නට මොකක් හෝ කතාවක් තිබෙන නමුත් වෙනත් පොහොට්ටු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකුට කියන්නට එවැනි කතාවක් නැහැ. අනෙක් අතට, යම් හෙයකින් රනිල් ජනාධිතිවරණය ජයගතහොත්, එළැඹෙන මහ මැතිවරණයකදී ඔවුන්ට යම් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන් තමන් වටා පෙළගස්වා ගැනීම මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහට අසීරු කාර්යයක් නෙමෙයි.

කෙසේ වුවත්, පොහොට්ටු අපේක්ෂයෙක් තරඟයට ආවොත් රනිල් හා එම අපේක්ෂකයා අතර පොහොට්ටු ඡන්ද බෙදී යන බැවින් රනිල්ටද වඩා අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

දෙවන හා තෙවන කඩුළු පැනීම ඒ තරම්වත් පහසු නැහැ. දෙවන වටයේදී රනිල් වික්‍රමසිංහට තරඟකරන්නට වෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟයි. ඒ තරඟය ජයගත හැකිනම් අනුර කුමාර දිසානායක සමඟ අවසන් තරඟය ඊට වඩා පහසු එකක්.

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර තරඟය අනුර කුමාර දිසානායකට වාසිදායක එකක්. ඒ නිසාම, මාලිමාව මේ තරඟයට ඉඩ දී පැත්තකට වී බලා සිටින්නට ඉඩ තිබෙනවා. දැනට ඉදිරියෙන් සිටින සජිත්ගේ ඡන්ද රනිල් වෙත විතැන් වන තරමට එහි වාසිය අනුරට ලැබෙන නමුත් යම් හෙයකින් රනිල් සජිත් ඉක්මවා ඉදිරියට පැමිණියහොත් ඒ වහාම තත්ත්වය කණපිට හැරෙනවා. දින 57ක් තුළ එවැන්නක් නොවෙන්න පුළුවන්.

කෙසේ වුවත්, තනිතනිව තීරණ ගන්නා විශාල ඡන්දදායකයින් පිරිසක් මේ මොහොතේ ඉන්නවා. එය විශේෂ තත්ත්වයක්. මේ ගොඩක් අය ඉන්නේ යම් අර්බුදයකයි. ඒ එක පැත්තකින් පුද්ගලයෙක් ලෙස රනිල්ව “පෙන්නන්න බැරි” වුනත් තමන්ට අවශ්‍ය සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජුව පෙනී සිටින බවක් පෙනෙන්නේද රනිල් තුළින්ම වීම තුළයි.

ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ වෙත නැවත ආවොත්, එය මේ අයුරින් සාර්ථක කර ගත හැකි වූයේ ඒ සඳහා වක්‍ර ලෙස හෝ ලැබුණු පුළුල් මහජන සහයෝගය නිසයි. ගොඩ ගන්නට බැරි අගාධයක් වෙත තල්ලු වෙමින් තිබුණු ආර්ථිකය නැවත ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමේ දැවැන්ත කාර්ය භාරය පසුපස ප්‍රධාන චරිත තුනක් සිටිනවා. ඒ නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන හා රනිල් වික්‍රමසිංහයි. තවත් අය හිටියත් මුලටම ඉන්නේ මේ තුන් දෙනා. අර්බුදයෙන් පසුව තමන්ගේ නායකත්ව හැකියාවන් පෙන්නූ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට දමන්න පුළුවන්.

නන්දලාල් වීරසිංහ මහ බැංකුව භාර ගැනීම සමාන කළ හැක්කේ ගිණි නිවන භටයෙක් ගිණිගෙන දැවෙන ගොඩනැගිල්ලක් ඇතුළට රිංගන එකටයි. එහි අවදානමට සාපේක්ෂව ඔහුට ලැබුණු පෞද්ගලික ප්‍රතිලාභයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වෙන විටත් මහ බැංකුව පැත්තෙන් සිදු විය යුතු මූලික දේවල් වෙලා.

ඊළඟට අනෙක් දෙදෙනාට සාපේක්ෂව අඩුවෙන් අවධානයට ලක් වන මහින්ද සිරිවර්ධනගේ කාර්ය භාරය. විස්තර කරන්න යන්නේ නැතත් මේකත් දැවැන්ත එකක්.

හැබැයි දේශපාලන නායකත්වය සහ සහයෝගය නොලැබුනානම් ඔය දෙපැත්තෙන්ම සිදු වූ දේවල් එක සීමාවකදී හිර වෙනවා. එතැනින් එහාට යන්නේ නැහැ. ඇත්තටම රනිල් ජනාධිපති වෙන කොටත් මේ හිරවීම සිදු වෙලා.

දැන් මෙතැනදී කෙනෙක්ට අහන්න පුළුවන් පහසු ප්‍රශ්නය රනිල් වෙනුවට වෙන කෙනෙක් ඔය තැන හිටියානම් ඔය දේවල් ඔය විදිහටම වෙන්නේ නැද්ද කියන එක. ගොඩක් වෙලාවට නොවෙන්න පුළුවන්. මොකද මේ වගේ අවදානමක් ගන්න ලොකු ආත්ම විශ්වාසයක් අවශ්‍යයි.

අපි දේශපාලනඥයෝ පැත්තකින් තියමුකෝ. පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වන බව පැහැදිලිව කටක් ඇරලා කියපු “විද්වත්තු” කී දෙනෙක් හිටියද?

එහෙම අය කවුරුවත් හිටියේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. එවැනි විද්වතුන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ වගේම, දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ අය, පෞද්ගලික වාසි නොබලා, මඩ කාගෙන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ගොඩක් හිටියේ එහෙම ගටක් නැති අය.

නන්දලාල් වීරසිංහට හා මහින්ද සිරිවර්ධනට මේ ගට ආවේ ඔවුන්ගේ දැනුම හා පුහුණුව එක්ක ලැබී තිබුණු දුර දැකීමේ හැකියාව තුළින් බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට ඒ ගට ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අවශ්‍ය ගට රනිල්ට තිබුණා.

මේක සෘජුව සංසන්දනය වෙන්නේ සජබ එක්ක. මොකද මාලිමාව කොහොමත් හිටියේ වෙනම ලයින් එකක. නමුත් සජබ යෝජිත වැඩපිළිවෙළ හා රනිල් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ අතර වෙනස හොයන එක අර ඉස්සර රිවිරැස පත්තරේ තිබුණු ගුරුගෝල වෙනස හොයනවා වගේ වැඩක්.

මේ වැඩපිළිවෙළ හෝ ඊට ආසන්නව සමාන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී ඉන්න සජබට හැකි වුනත්, අභියෝගය භාර අරගෙන ක්‍රියාත්මක කරන්න ගටක් සජබට තිබී නැති බව මෑතකදී අලි සබ්‍රි විසින් කරපු එළිදරවු කිරීම් වලින් පැහැදිලි වෙනවා. අදාළ පාර්ශ්ව කිසිවක් අලි සබ්‍රි කියපු දේවල් ප්‍රතික්ෂේප කරලා නැහැ.

දැන් මේ ජනාධිපතිවරණයේදී ජනතාව අතරට යන කිසිදු අපේක්ෂකයෙකුට ආර්ථිකය සම්බන්ධ තමන්ගේ අපේක්ෂිත ප්‍රතිපත්ති මග හැර යන්න බැහැ. (මේක ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියන පදනම මත මාලිමාව ඉලක්ක කර කරන විවේචනයක් නෙමෙයි. දන්නා තරමින් මාලිමාව ජනාධිපතිවරණයට කලින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එළියට දාන්නයි ඉන්නේ.) රනිල්ගේ ප්‍රතිපත්තිය මේ වෙද්දී නීතියක් කරලත් ඉවරයි. එතකොට වෙනත් කෙනෙකුට ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැත්නම් වෙනස් කරනවද කියලා පැහැදිලිව කියන්න වෙනවා. වෙනස් කරනවානම් ඒ කොහොමද කියලත් පැහැදිලිව කියන්න වෙනවා.

විශේෂයෙන්ම සජබ ගත්තහම, සජබ සතුව වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් පෙන්නන්න බැරිකමක් නැතත් ඒවා අර ගුරුගෝල වෙනස්කම් වගේ ඒවා පමණයි. මිනිස්සුන්ගේ පැත්තෙන් එකම ප්‍රතිපත්තිය. එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් මතු වෙන ප්‍රශ්නය මේ එකම ප්‍රතිපත්තිය තමන් කැමති සජිත් ලවා ක්‍රියාත්මක කරගන්නවද නැත්නම් තමන් අකැමැති එහෙත් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේ හරියට කරලා තිබෙන රනිල් ලවා කර ගන්නවද කියන එක. මේක මාලිමා කඳවුරෙන් පිට ඉන්න අයගේ ප්‍රශ්නයක්.

රනිල්ගේ උපන් ගෙයි ගති ඉදිරි දවස් පනස් හතේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, රනිල්ගේ උපන් ගෙයි ගති සෙට් වෙන්නේ නැති අයට ඉදිරි දවස් පනස් හතේදී රනිල්ව සෙට් වෙන එකක් නැහැ. නමුත් මේ අයගෙන් කොටසක් හෝ තමන්ට රනිල්ව සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන නැවත වරක් හිතන්න ඉඩ තිබෙනවා. ඔය තත්ත්වයන් එක්ක සජබ ඡන්ද යම් ප්‍රමාණයක් ඉදිරි දවස් 57 තුළ ගැලවිලා රනිල්ගේ පැත්තට ඇවිත් රනිල් දෙවන ස්ථානයට තල්ලු වෙන්න ඉඩක් තිබෙනවා. හැබැයි තවමත් ඒක වෙලා නැති නිසා තවමත් වාසිය තිබෙන්නේ සජිත්ට.

මාලිමාව පැත්තෙන් ගත්තොත් කතාව වෙනස්. මාලිමාව පෙනී සිටින්නේ විකල්ප වැඩ පිළිවෙලක් වෙනුවෙන්. ඒක මොකක්ද වගේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. වැදහත් දේ බහුතර ජනතාව හිතන්නේ කොහොමද කියන එකයි.

දැන් පවතින වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවානම් ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් ආදේශ කරනවා කියන එක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මාලිමාවට සිදු වෙනවා. දැනට මාලිමාව එක්ක ඉන්නේ එහෙම විශ්වාසයක් තියෙන අය. නමුත් තමන්ගේ ඡන්ද පදනම තවත් පුළුල් කරගන්න උත්සාහ කරද්දී මාලිමාවට අභිමුඛ වෙන්නේ එහෙම විශ්වාසයක් නැති කණ්ඩායමක්. ඒ අයට දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ඇස් පනාපිට පේනවා. ඒ නිසා, තමන්ගේ බවුන්ඩරිය එහාට තල්ලු කර ගන්න එක මාලිමාවට ලේසි වැඩක් වෙන්නේ නැහැ.

ඔය තත්ත්වයන් එක්ක මේ මොහොතේදී මම දකින්නේ පැහැදිලි තුන් කොන් සටනක්. ඔය සටනෙන් සජිත්, අනුර වගේම රනිල් වුනත් ඉස්සරහට එන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan