රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිබදව රජයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ මෙරට අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි.
මෙම තදබදය අවම කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ.
ඒ අනුව, අධිකරණ ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සියලුම මට්ටම්වල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී විස්තරාත්මක පිළිතුරු ලබාදුනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා,
“අපි දීපු එක පොරොන්දුවක් තමයි අධිකරණවල මිනිස්සු සෑහෙන රස්තියාදු වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් අධිකරණවල නඩු යනකොට මිනිස්සු රස්තියාදු වෙනවා. එහෙනම් අධිකරණ අනිත් පද්ධති වගේම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීම එක පැත්තක් පමණයි තවත් පැති කීපයකටම අපි මැදිහත් වෙනවා. මූලිකව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති ගැටලු විසඳමින් ඒක කඩිනම් කරන්න ඕනේ. ඒකෙත් නඩු හිරවෙන තැනක්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේත්, උසාවිවලත් කාර්ය මණ්ඩලය මේ දවස්වල බඳවා ගනිමින් යනවා. මේ ඔක්කොම කරන්නේ නඩු ලක්ෂ 11ක් ගොඩනැගිච්ච පද්ධතියක් අපිට තිබෙනවා. මේක වේගවත් කිරීම ඉතා අත්යවශ කාරණාවක් හැබැයි ඒක කරන්න නම් මූලික දේ තමයි සාමාන්‍යයෙන් දියුණු රටක ජනගහනයෙන් මිලියනයෙන් එකකට නඩුකාරතුමන්ලා ඉන්නේ 40-60ත් අතර හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට ඉන්නේ 20ක් පමණයි. ඉතිං ඇත්තෙන්ම මේ අර්බුදය එන්න මූලික හේතුව තමයි වසර 10-15ක් තිස්සේම යම් පුරෝකථනයක් ඇතිව විනිසුරුවන් වැඩි වෙන්න තිබුණා. නමුත් එහෙම නොවී ඇවිත් නිසා තමයි නඩු ගොඩගැහිලා තිබෙන්නේ.
“නඩුකාරතුමන්ලාගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩි වෙන්න නීතියත් ඩිවලොප් වෙනවා”
අපි මේ වයස් සීමාව වැඩි කරන්නේ අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නෙමෙයි. අධිකරණ පණතත් සංශෝධනය කරලා දිසා විනිසුරුවන්ගේ මහේස්ත්රාත්වරුන්ගේ සියලුම අයගේ තමයි වසර දෙකකින් වැඩි කරන්නේ. වැඩි කරන මූලික දෙයක් තමයි උසාවි කාර්ය මණ්ඩල අත්‍යවශ්‍ය වගේම නඩු වේගවත් වෙනවා අත්දැකීම් තිබෙන පරිණත උදවියගෙන්. 1978න් පස්සේ මේ විශ්‍රාම වයස් සංශෝධනයක් වෙලා නෑ. ගොඩක් රටවල්වල අධිකරණවල වයස තිබෙන්නේ වයස 70. එතකොට අපි කල්පනා කළා යම් ප්‍රමාණයක් අපි රඳවා ගත යුතුයි. නඩුකාරතුමන්ලාගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩි වෙන්න නීතියත් ඩිවලොප් වෙනවා නඩු කාර්යක්ෂම කරගන්නත් පුළුවන්. ඒ හේතුව මත පිහිටලා තමයි සමස්තයක් ලෙස මේ වැඩි කිරීම කරන්න අපි උත්සාහ ගන්නේ.
“ඒ ප්‍රශ්නත් අපි විසඳනවා අපි කිසි දෙයක්
බැහැර කරන්නේ නෑ.”
මේක අද ඊයේ ආපු එකකුත් නෙමෙයි 2016ත් නීතීඥ සංගමය යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම රවුෆ් හකීම් මහත්මයා 2014-2015 වසරේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරලා තිබෙනවා. මම හිතන්නේ මේක 2017 ඉඳලා නිතරම වෘත්තියේ කතා වෙච්ච දෙයක්. පහුගිය වකවානුවල නීතිඥ සංගමය විසින් මට සැල කිරීම් එවලා තිබෙනවා. ඒවායේ කරුණු අපි සැලකිල්ලට ගත්තා. 388ක් ඉන්න තැනින් 65ක් යම් විරෝධයක් දක්වලා තිබෙනවා. හැබැයි අපි ඒ විරෝධයේ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන ඒ ප්‍රශ්නත් අපි විසඳනවා අපි කිසි දෙයක් බැහැර කරන්නේ නෑ. එතකොට එවන් තත්ත්වයක් යටතේ තමයි මේ සංශෝධනය ගේන්නේ. විපක්ෂය නිතරම කියනවා අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියලා නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ නෑ හරියට ඒක වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට අපි තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරනවානම් නැත්නම් සුප්‍රිම් කෝට් ඉලක්ක කරගෙන කරනවානම් ඔය තර්කණය ගේන්න පුළුවන් නමුත් අපි මේ කරන්නේ හැමෝගෙම වැඩි කරන එක.”


