නිශ්මං රණසිංහ ජූලි 29 , කොළඹ LNW :1
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM), ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය (SLJI) සමඟ එක් වී නව පත්වීම් ලැබූ මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් වෙනුවෙන් මානව සම්පත් කළමනාකරණය සහ මානුෂීය ව යුක්තිය පසිඳලීම පිළිබඳ නිපුණතා සංවර්ධන වැඩමුළුවක් දියත් කළ අතර, 2025 ජූලි 9 වන බදාදා කොළඹ SLJI ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහන සඳහා අධිකරණ නිලධාරීහු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩමුළුවේදී විනිසුරුවරුන්ගේ කාර්යභාරය පිළිබඳ මනා දැනුවත් භාවයක් ලබා දුන් අතර, එහි දී නීතියේ බේරුම්කරුවන් ලෙස පමණක් නොව, මනුෂ්‍යත්වයෙන් පිරි නායකයින් ලෙස සංවේදනය සහ සාධාරණත්වය තුළින් ජීවිත හැඩ ගැස්වීම පිළිබඳ ආකල්ප වර්ධනය කිරීම ද මෙහි දී සාකච්චාවට බඳුන් විය. කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීයකරණය මගින් මෙහෙයවනු ලබන වර්තමාන ලෝකය තුළ මානුෂීය භාවයකින් ගැටළු විසඳන ආකාරය පිළිබඳ ව මෙහි දී අවධාරණය කෙරිණි.
‘ඉලක්ක සැකසීම සහ යුක්තියේ මානුෂීය බව (Goal Setting and the Human Side of Justice)’ යන මාතෘකාව යටතේ සැසිය මෙහෙයවූ CIPM ආයතනයේ වරලත් සාමාජික සහ මානව සම්පත් විශේෂඥ සී. හේවාපත්තිනි මහතා අරමුණු මත පදනම් වූ නායකත්වය සහ අධිකරණ වගකීම් පිළිබඳ ව අදහස් දැක්වූ අතර, බරපතල නඩු අධ්‍යයන, චිත්තවේගීය අධිකරණ ක්‍රියාකාරකම් සහ ලබා දෙන තීරණ විනිසුරුවරයෙකුගේ කාර්යක්ෂමතාව, නීතිමය ඥානය චිත්තවේගීය බුද්ධිය හා සදාචාරාත්මක භාවය මත රඳා පවතින ආකාරය ඒ මහතා එහි දී පෙන්වා දුන්නේය.
සිංගප්පූරුවේ AI-පාදක ත්‍රිත්ව සහ අතථ්‍ය නඩු විභාග වැනි ගෝලීය අධිකරණ ක්‍රියාවලි ආශ්‍රිත ව ස්වයංක්‍රීයකරණය වර්ධනය වීම පිළිබඳ ව හුවා දක්වමින් අදහස් දැක්වූ හේවාපත්තිනි මහතා, ‘ඇල්ගොරිතම යුගයේ, යුක්තිය සඳහා වන හඬ නැඟීම්වලට ඇහුම් කන් දෙන්නේ කවුද?’ යන පැනය මතු කළ අතර, AI තාක්ෂණ භාවිතයෙන් ප්‍රශස්ත අයුරින් ප්‍රතිඵල පුරෝකථනය කළ හැකි වුව ද, එයට ශරීර භාෂාව, නිහඬ හැඟීම් හා දුක් වේදනා මෙන් ම කරුණාව, දයාව වැනි මානුෂීය ගුණයන් හඳුනා ගැනීමට නොහැකි බව අවධාරණය කළේ ය. එමෙන් ම යුක්තිය සැම විට ම මානුෂීය මුහුණුවරක් ගත යුතු බව සිහිපත් කළ ඒ මහතා, එය ගැඹුරින් සවන් දීම, නීතිය සමඟ දයාව සමතුලිත කිරීම සහ අධිකරණය ඉදිරියේ පෙනී සිටින අයගේ ජීවමාන යථාර්ථයන් පිළිබිඹු කරන බව ද ප්‍රකාශ කළේ ය. එහි දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටෝමයර් උපුටා දැක් වූ හේවාපත්තිනි මහතා, සංවේදී භාවය නීතිය වෙනස් නොකරන බවත්, එය සාධාරණය ඉටු කිරීමට උපකාරී වන බවත් අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා වරළත් පිරිස් කළමණාකරන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ වරලත් සාමාජික යූ.ඒ.සී. ඔබේසේකර මහතා අදහස් දක්වමින්, අධිකරණ නිලධාරීන් සඳහා මානව සම්පත්වල විෂයෙහි ඇති අත්‍යවශ්‍යතා පිළිබඳ සිය මොඩියුලය හරහා අධිකරණ පද්ධතිය තුළ පුද්ගලයින් කළමනාකරණය කිරීම සහ වර්ධනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමට කටයුතු කළ තර, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, තෝරා ගැනීම, කාර්ය සාධන කළමනාකරණය, නිර්මාණාත්මක ප්‍රතිපෝෂණ සහ වෘත්තීය සංවර්ධනය යන මාතෘකා පිළිබඳ ව ද ඒ මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේ ය.
අධිකරණයේ නායකත්වය විනිසුරු මඩුල්ලට පමණක් සීමා නොවන බව ඔබේසේකර මහතා අවධාරණය කළ අතර, විනිසුරුවරුන් තත්කාලීන නායකයින් පමණක් වන බවත්, සෑම අධිකරණ ශාලාවක් ම නිවැරදි දැක්ම, සංවේදනය සහ ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් සංස්කෘතියක අවශ්‍යතාව සහිත ක්ෂුද්‍ර සංවිධානයක් බවත් ඒ මහතා අවධාරණය කළේ ය. ඔබේසේකර මහතාගේ අදහස් දැක්වීම සදාචාරාත්මක නායකත්වයෙන්, අභිප්‍රේරණයෙන් සහ සාධාරණ මෙන් ම ස්ථාවර පරිපාලනය පිළිබඳ දැනුමින් සපිරි සැසියක් විය.
ස්මාර්ට් ඉලක්ක සැකසීම, කණ්ඩායම් ගොඩනැගීමේ අභ්‍යාස සහ චිත්තවේගීය ප්‍රතිපෝෂණ අනුකරණයන් ඇතුළු අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් – දවසේ කටයුතුවලට සජීවී බවක් සහ ප්‍රායෝගික අදාළත්වයක් එක් කළේය. ආදර්ශමත් විනිසුරුවරුන්ගේ කථා වලින් ආභාෂය ලැබූ සාකච්ඡා, යුක්තියේ සදාචාරාත්මක මානය පෙරමුණට ගෙන ආවේය.
මෙම වැඩමුළුව සහභාගි වූ සියලු දෙනාගේ පැසසුමට ලක් වූ අතර, බොහෝ දෙනෙක් මෙම සැසිය තුළ අන්තර්ගත වූ චිත්තවේගීය පරාවර්තනය, උපායමාර්ගික චින්තනය සහ කුසලතා ගොඩනැංවීම යන ක්ෂේත්‍ර පිළිබඳ ව ප්‍රශංසා කිරීම විශේෂත්වයක් විය. ‘යුක්තිය යනු අප කරන දේ පමණක් නොවන බවත්, අප කවුද යන්න මෙම සැසිය සිහිපත් කර දුන් බවත්’, මෙම අවස්ථාවට සහභාගි වූ තරුණ විනිසුරුවරයෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් කළමනාකරණ මණ්ඩලයක නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය සහ මානව සම්පත් කළමනාකරණයේ මෙරට ප්‍රමුඛයා වන CIPM Sri Lanka ආයතනය එක් ව සංවිධානය කළ මෙම වැඩසටහන, සාම්ප්‍රදායික ආයතනික රාමුවෙන් ඔබ්බට යමින්, ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ ව පිළිබිඹු කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය.
