සටහන – නිශ්මං රණසිංහ
ජූලි 31, කොළඹ LNW:
ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ සහභාගි වූ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය සීසීසී ක්‍රීඩා සමාජයට හිමි වුණා.ඔවුන් වෙතින් ලකුණු 187 න් පරාජයට පත් වුණේ පොලිස් කණ්ඩායමයි.අවසාන තරගයක නොතැකිය හැකි දැවන්ත ලකුණු පරතරයකින් අවසාන තරගය ජය ගැනීමට සීසීසී කණ්ඩායමට හැකි වුණ අතර අප අවසන් තරගයට පෙර පැවසූ පරිදිම එම ජයග්‍රහණයට පදනම වූයේ එම කණ්ඩායමේ පිතිකරණයයි.

අවසාන පූර්ව තරගයේදී අවසාන තරගය සඳහා සීසීසී කණ්ඩායම රැඟෙන එන්නට ශක්තිය දුන් තරුණ මහානාම ආදි සිසු යුගලය පවන් රත්නායක සහ සොනාල් දිනූෂ මේ තරගයේදී ද සීසීසී ලකුණු පූවරුව ලකුණු 387 ක් දක්වා ඔසවා තබන්නට පෙරමුණ ගැනීම මේ ජයග්‍රහණයේ පදනම වුණා.ශ්‍රී ලංකා තේරීම් කමිටුවට මෑත කාලයේ දී විශාල බලපෑමක් එල්ල කරන ක්‍රීඩකයෙකු බවට පත් වී සිටින පවන් රත්නායක ඒ අතරින් පන්දු 94 දී ලකුණු ලකුණු 158 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.ඒ සඳහා හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත් වුණා.

පවන් සහ සිය පාසලේ සිටම ක්‍රීඩා කර හුරු ඇති සීසීසී නායක සොනාල් දිනූෂ පන්දු 51 දී හතරේ පහර සහ හයේ පහර දෙක බැඟීන් එකතු කර ගනිමින් රැස් කරන ලද ලකුණු 53 වඩාත් සීසීසී ලකුණු පූවරුවට වැදගත් වුණේ ඔවුන් දෙදෙනාගේ සබඳතාවය නිසයි.පන්දු ඕවර් ලෙස ගතහොත් පන්දු ඕවර් 21 ක් පුරා පැවත්වෙන (ඕවර් 27.2 සිට ඕවර් 48.2 දක්වා) පවන් – සොනාල් සබඳතාවය ලකුණු 190 ක් වුණා.පවන්ට සහ සොනාල් ට මේ තරම් සබදතාවයකට යන්න පහසුවක් සළසමින් නිශාන් මධුශ්ක සහ කමිඳු මෙණ්ඩිස් දුන් සහය ද අමතක කළ නොහැකියි.සීසීසී කඩුලු දෙකක් ලකුණු 25 ට දැවී ගිය තැන පිටියේ එකතු වූ ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සබඳතාවයක් පවත්වනවා.

කමිඳුගේ ඉණිම පන්දු 52 දී රැස් කර ගත් ලකුණු 59 න් කෙළවර වුණ ද,ආරම්භක පිිතිකරුවා ලෙස පැමිණ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 172 දක්වා පිටයේ රැඳුණ නිශාන් මධුශ්ක ලකණු පූවරුව 172 ක් ව කිබියදී දැවී යනවා.ඒ වන විට ඔහු පන්දු 85 දී ලකුණු 88 ක් රැස් කර තිබෙන අතර ඒ වගකීම් සහගත ඉණිමට හිමි විය යුතුව තිබුණු ශතකය අහිමිව අවාසනාවන්ත ලෙස නිශාන් ට පිටියෙන් ඉවත් වෙන්නට සිඳු වෙනවා.

තරගාවලිය පුරා කඩුලු අතර රැඳණ දිලුම් සුදීර ට කඩුල්ලක් නොදෙන සීසීසී පිතිකරුවන් ඔහුගේ පන්දු ඕවර් 10 ලකුණු 74 ක් උඳුරා ගන්නවා.ආරම්භක පන්දු යවන්නා වූ චාරුක ප්‍රමෝද් සීසීසී ඉණිම මුලදී කොනිති ගසමින් කෘස්පුල්ලේව ලකුණු නොලබා ඉවත් කරන්නට සමත් වුවත්,ඔහුගේ පන්දු ඕවර් 10 නිමා වන තැන දවා ගත් කඩුලු දෙකක් වෙනුවෙන් ඔහුගෙන් සීසීසී ක්‍රීඩකයින් ලකුණු 92 ක් උඳුරා ගැනීමට සමත් වෙනවා.

පිළිතුරු ඉණිම පහසු නැහැ.ලකුණු 387 ක් යනු අතිශය පීඩාකාරී තත්වයක්.එය උඳරා ගන්නට වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කර අත්දැකීම් ඇති විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාරගේ වේගයට එරෙහිවයි. ඉණිම ලකුණු 26 ක් වෙද්දී මුල් කඩුලු 2 ක දවා ගත් ඔවුන් දෙදෙනා ලබා දුන් ආරම්භය ඔස්සේ ලකුණු 86 වන විට පොලීසිය සිය හොඳම පිතිකරුවන් දෙදෙනා වන කුසල් ජනිත් සහ නායක අශේන් බංඩාර ද සහිතව කඩුලු 5 ක් අහිමි කර ගන්නවා.

එහෙත් පන්දු 56 ක් තුළ ලකුණු 57 ක් ලබා ගනිමින් ප්‍රියමාල් පෙරේරා ගොඩ නඟන සටන්කාමී ඉණිම නිසා පොලිස් ඉණිම ලකුණු 200 දක්වා රැඟෙන යන්නට හැකි වෙනවා.තවත් මහානාම නියෝජනයක් ලෙස සීසීසී කණ්ඩායමට අවසාන තරගය සඳහා කැඳ වූ පන්දු යැවීමේ තුරුම්පුව, ඉනුක් කරන්නාගොඩ තමන් ගැන තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් කරමින් මේ තරගයේ සීසීසී හොඳම පන්දු යැවීම ප්‍රදර්ශණය කර ලකුණු 32 ට කඩුලු 3 ක් දවා ගන්නවා.

සීසීසී ක්‍රීඩා සමාජයට සූරතාවය සහ පොලිසීයට අනු සූරතාවය හිමි වෙමින් නිමා වූ තරගයේ ජය සංඛේත ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ගරු ලේකම් බන්දුල දිසානායක, තරඟාවලි කමිටුවේ විධායක කමිටු සාමාජික සහ සභාපති නලින් අපොන්සු එක්ව සිටියා.එහිදී තරගාවලිය සහ අවසාන තරගයේ දක්ෂතා මත ඇගයීම් ලද ක්‍රීඩකයින් පහත දැක්වෙන්වා.
හොඳම පන්දු යවන්නා – මොවින් සුබසිංහ (බර්ගර් විනෝද ක්‍රීඩා සමාජය)
හොඳම පිතිකරු – සංගීත් කුරේ (කෝල්ට්ස් ක්‍රිකට් සමාජය)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – තනුක දාබරේ (හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය)
අවසන් මහා තරගයේ වීරයා – පවන් රත්නායක (කොළඹ ක්‍රිකට් සමාජය)
තරගාවලියේ වීරයා – නිෂාන් මධුෂ්ක (කොළඹ ක්‍රිකට් සමාජය)

