ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉල්ලා අස්වීම බලාත්මක වන බව සඳහන්.
මේ අතර ඊයේ (30) දිනයේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පැමිණි ඒ මහතා පැවසුවේ පෞද්ගලික හේතූන් මත මෙසේ තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වූ බවය.
“ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මාව පත්කරනු ලැබුවේ 2024 දෙසැම්බර් 16 වෙනිදා. එතැන් සිට වසරකුත් මාස හතක කාලයක් මම අඛණ්ඩව ඒ තනතුරේ කටයුතු ආවරණය කරගෙන මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරගෙන ආවා. නමුත් මට තේරෙනවා මගේ ධාරිතාව සහ මගේ පෞද්ගලික කායික ශක්තිය, ඒ වගේම වෙහෙස විඩාව තවදුරටත් දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඒ වගේ පෞද්ගලික හේතූන් නිසා මේ අගෝස්තු 01 වනදා සිට මේ තනතුරෙන් ඉවත් වන්නට තීරණය කළා. මගේ ඉවත්වීමට වෙනත් කිසිම හේතුවක් බලනොපෑ බව ඉතාම කාරුණිකව මතක් කරන්න කැමතියි. මේ රජයත් ගරු ජනාධිපතිතුමාත් කෙරෙහි මා තුළ පැවති විශ්වාසයත් ගෞරවයත් එදා වගේම අංශු මාත්‍රයක්වත් නොවෙනසව පවතින බවත් ඉදිරියටත් රජයේත් මේ ආයතනයේත් කටයුතුවලට මගේ ශක්ති ප්‍රමාණයෙන් උදව් පදව් කරන්න මා සූදානම්ව සිටින බවත් කියන්නට කැමතියි. මොකද මේ මිනිස්සු වයසට යනකොට ඔවුන්ගෙ ධාරිතාව පටුවෙනවා, ඔවුන්ගෙ ක්‍රය ශක්තිය අඩුවෙනවා. දැන් රට දන්නෙ මාව ලේඛකයෙක්, කවියෙක් හැටියට. නමුත් ගතවූ කාලය තුළ මගේ නිර්මාණ ජීවිතය හුඟාක් දුරට අඩාල වුණා. ඇත්තටම කෙරුණේම නැති තරම්. දැන් මට විවේකය අවශ්‍ය බව මට දැනෙනවා. ඒ නිසා මම සාමාන්‍ය ජීවිතයට යන්න තීරණය කළා වෙනත් කිසිදු බැඳීමකට යටත් නොවී. මට වඩා ධාරිතාවයෙන් පුළුල් ශක්තිමත් හොඳ සභාපතිවරයෙක් මේකට පත්වේවි. ඔහුට අවශ්‍ය සියලු උදව් කරන්න මම සූදානමින් ඉන්නවා. ඒ වගේම මේ රජය ගෙනියන අතිදැවැන්ත කාර්යයට මම ඈත ඉඳන් සුබපතනවා, අවශ්‍ය වූ විට ඔවුන්ට මගේ ශක්තිය පිරිනමන්න සූදානම්ව ඉන්නවා. බොහොම ස්තූතියි”
කවියෙකු සහ ගී පද රචකයකු වශයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්ව සිටින රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික ජන බලවේගයේ රජය බලයට ගෙන ඒම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් අයෙකු ද වේ.
2024 ඔක්තෝබර් – දෙසැම්බර් අතර විවිධ රාජ්‍ය ආයතන සඳහා පත්කෙරුණු සභාපතිවරුන් සහ ප්‍රධානීන් රැසක්ම ගතවූ වසර එකහමාර තුළ ඉල්ලා අස්වෙනු ද දක්නට ලැබිණි.


