අධිකරණය බිත්තියට හේත්තු කිරීම !

උපාලි කොළඹගේ

කොළඹ LNW:අධිකරණ පද්ධතිය මහා වියවුලකට පත්වීමට ආසන්න බවට හඬ නැගෙයි. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම වෙනුවෙන් වූ ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් වීමත් සමග මේ හඬදෙගුණ තෙගුණ වී මහෝඝයක් බවට පත් වෙමින් පවතී.

මේ සියලු ගිනි විජ්ජුම්බරයන්ගේ අවසානය අපි කලින්ද කීවාක් මෙන් අධිකරණ පද්ධතිය දෙකට බෙදී දේශපාලනය ඒ තුළට කාන්දුවීමේ වේගය වැඩි වීම බව කිව යුතුය. අධිකරණයේ හැබෑ මළගම දක්නට ලැබෙනුයේ එවිටය. දැන් ඇසෙනුයේ ලතෝනිය පමණි. ඉදිරියේ කාට කාටත් මේ පාපයට හවුල් වීම ගැන පශ්චාත් චාපවීමට සිදුවනු නියති. ( ආණ්ඩුව ද ඇතුළු )

කෙසේ වුව ⁣මෙය කැබිනට් අනුමතයට පෙර සාකච්ඡාවට බඳුන් කෙළේ නම් මෙහි කිසියම් වෙනසක් සිදුවීමට ඉඩ තිබිණ. නමුත් ප්‍රතිපාර්ශවය මස් රාත්තලම ඉල්ලා සිටිනු මිස ඉන් මෙහා විසඳුමකට සිය අනුකූලතාවය දක්ව තැයි සිතීමට අපහසුය.

මෙහි ඇති ව්‍යාකූලත්වය නම් වර්තමාන අගවිනිසුරුවරයා තව වසර දෙකක් තබා ගැනීමට ආණ්ඩුවට ඇති වුවමනාව හා සමානම වුවමනාවක් ඔහු එම පදවියෙන් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂය තුළ තිබීමය. කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ඇති බවට මෙය කදිම සාක්කියකි.

එමෙන්ම හැකි නම් දෙසැම්බර් මාසයට පසුව මෙය සිදුකරන ලෙස වූ අභියෝගයක්ද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණ .

එය දුටුවිට මගේ හිතට නිතැතින්ම පැන නැගුණේ වර්තමාන අගවිනිසුරුවරයා සේවයෙන් විශ්‍රාම ලැබූ පසු මෙය ක්‍රියාත්මක කළාට කමක් නැද්ද යන්නයි. ඒ අනුව ⁣මේ අයටද ඇත්තේ අගවිනිසුරු විරෝධයක් නේද?

ආණ්ඩුවේ නව යොජනාව වී ඇත්තේ සියලුම විනිසකරුවන්ගේ විශ්‍රාමවයස් සීමාව දීර්ඝ කිරීමයි. එවිට උසස්වීම් පිළිබඳවද ප්‍රශ්නයක් පැන නොනගින බවටද ආණ්ඩුව තර්ක කරයි.

කොහොම වුණත් වර්තමානයේ විනිසුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව නොරහසකි. ඊට එකම විසඳුම විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම නූනත් ඉන් යම් පිටුබලයක් ලැබෙන බව මගේද විශ්වාසයයි. මෙය සමස්ත වෘතිකයන්ටම පොදු වූවකි. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන් කෙරේ ද මෙම තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. අනාගතයේ මේ ගැන සිය අවධානය යොමු කරනු ඇතැයි අනුමාන කෙරේ. ආණ්ඩුව ඔය කියන තරම් පිරිසිදු චේතනාවෙන් මෙය සිදුකරන්නේද නැද්ද යන්න අවිනිශ්චිතය. නමුත් ලැබෙන ප්‍රතිථලය හොඳ නම් ඇයි මේ තරම් කලබල ?

වර්තමාන අගවිනිසුරුතුමා මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන පාලන සමයන්හි දැඩි ආන්දෝලනයට ලක්වූ නඩු තීන්දු කිහිපයකටම දායක වූ බව දනිමු. විශේෂයෙන්ම අධිකරණ කේෂ්ත්‍රය තුළ තමාව ඔසවා තැබූ ජනාධිපතිවරුන්ට එරෙහිව තීන්දු දීමෙන් එතුමා තම අපක්ෂපාතිත්වය පෙන් වූ වාර ඕනෑ තරම් තිබේ.

මා කියන්නේ ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා සම්මුති තුළින් අතර මැද තැනකට එනවා මිස එකම විසඳුම වලං ගොඩට පැනීම නොවිය යුතුයි.

එමෙන්ම විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරී⁣මට එරෙහිව ඉදිරියට ඇවිත් ඉන්නා අය අතුරින් සහෝදර මාධ්‍යවේදීන් කිහිපදෙනකු හා වෘත්තිකයන් කිහිපදෙනකු හැරුණු ඉතිරි බොහෝ දෙනකු දෙේශපාලන අභිමතාර්ථයන් ඇති අය වීමද මෙහි කැපී පෙනෙන සංසිද්ධියකි. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු කමින් ඉවත් කිරීමට සෘජුවම දායකවූ ජී ඇල් පීරිස්, රාජිත සේනාරත්න, චම්පික රණවක ගැන කුමන කතාද?

ජී ඇ.ල් පීරිස්ට තවත් කාගේ හෝ විශ්‍රාම වයස් සීමාව ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?

කෙසේ වුවත් ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රචාරය වන අනික් කතාව නම් ඕපා දූපයකි. එනම් වර්තමාන අගවිනිසුරුවරයා එම පදවියේ තබා ගැනීම ජනාධිපතිවරයාගේ පෞද්ගලික අපේක්ෂාව බවයි. මනුෂ්‍යයකු වන එතුමාගේ පෞද්ගලික අපේක්ෂාවන් ගැන අපට කිසිවක් කිව නොහැක. නමුත් මේ රටේ බහුතර ජනතාවගේ අභිලාෂය නම් කෙක්කෙන් හෝ කොක්කෙන් රට විනාශ මුඛයට ඇද දැමූ අපරාධකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණ විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...