සටහන : සශිකලා මධුෂාණී
“කවියකුගේ ගී පොත මළගමකදී ගිනි තැබිය හැකිද?” යන ප්‍රශ්නයට පිළිතුරක් සපයමින්, සිය නිර්මාණ තුළින්ම මරණය පරාජය කළ කලාකරුවෙක් වේ නම් ඒ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔහුගේ හදවත නැවතුණේ අදින් වසර 37කට පෙර එනම් 1989 ජූලි 31 වැනිදාය. එහෙත් ඔහුගේ ගීතවල හදගැස්ම තවමත් ශ්‍රී ලාංකේය ජනහද තුළ නොනවතින ස්පන්දනයක් ලෙස පවතී.
කාලය වසර ගණනින් ඉදිරියට ගියද, ප්‍රේමකීර්ති ද අල්විස් නම ගීතයක පද පෙළක, ගුවන්විදුලි හඬක, මතකයක හෝ සංවේදී සිතුවිල්ලක තවමත් ජීවමානය. ඔහුගේ නිර්මාණ යනු යුගයක් පමණක් නොව, පරම්පරා කිහිපයකම ජීවිත අත්දැකීම්වලට හඬක් ලබාදුන් සංස්කෘතික උරුමයකි.
1947 ජූනි 3 වැනිදා කොළඹ සොයිසා කාන්තා රෝහලේදී උපත ලැබූ ප්‍රේමකීර්ති, මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හා අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාධ්‍ය ලෝකය දෙසට පියවර තැබීය. පාසල් වියේ සිටම ගුවන්විදුලිය පිළිබඳ තිබූ අප්‍රමාණ ආකර්ෂණය, පසුකාලීනව ඔහුගේ ජීවිතයේ මාර්ගය තීරණය කළේය.
හිතින් මා නොසැලී හිදිද්දී…..
1967දී සහන නිවේදකයකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට එක් වූ ඔහු, ඉතා කෙටි කාලයකින්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් හඬක් බවට පත් විය. හඬක මාධූර්යය, නිවැරදි භාෂා භාවිතය, සරල නමුත් ගැඹුරු ප්‍රකාශන ශෛලිය සහ නිවේදනයට එක් කළ කලාත්මක ස්පර්ශය නිසා ඔහු වෙනස්ම අනන්‍යතාවක් ගොඩනැඟීය.
1971 වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්ථිර නිවේදකයකු වූ ප්‍රේමකීර්ති, 1974දී වැඩසටහන් සම්පාදකවරයකු ලෙසත්, 1975දී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් උසස් වී ගුවන්විදුලි මාධ්‍යයේ ස්වර්ණමය පරිච්ඡේදයකට සිය නම එක් කළේය.
එහෙත් ඔහු නිවේදකයකු පමණක් නොවීය. ඔහු වචනවලින් හැඟීම් සිතුවම් කළ ගී පද රචකයෙකි.
මිනිස් ජීවිතයේ සතුට, දුක, ආදරය, විරහව, මව් සෙනෙහස, මනුෂ්‍යත්වය සහ ජීවිතයේ දාර්ශනික අර්ථය පවා පද කිහිපයකින් සිත් තුළ තැන්පත් කළ අපූරු කවියෙකි.
1969 වසරේ “හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” ගීතය ඔහුගේ ගේය පද රචනා දිවියේ ආරම්භය සනිටුහන් කළේය. එම වසරේදීම “ලොකුම හිනාව” චිත්‍රපටය වෙනුවෙන් ලියූ “පරණ කෝට්” ගීතය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. එය ප්‍රේමකීර්ති නාමය ගීත සාහිත්‍යයේ ස්ථාවර කිරීමට මුල් වූ සන්ධිස්ථානයක් බවට පත් විය.
ඉන් ඇරඹුණු ගී ගඟුල කිසිදා නොසිඳුණු නිර්මාණ ගංගාවක් විය. ආදරයේ සියුම් හැඟීම්වල සිට මනුෂ්‍යත්වයේ උසස් අගයන් දක්වා සියල්ල ඔහුගේ පදවැල්වල ජීවමාන විය.
ඔහු සිංහල ගීත සාහිත්‍ය තුළ වචනවලට හදවතක් දුන් කවියා විය.
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගීත වලට ප්‍රේම කරන ඕනෑම කෙනෙකු දන්නා සත්‍යයක් තිබේ. එනම් ප්‍රේමකීර්ති ගීත ලියුවේ වචන එකතු කරමින් නොවේ. ඔහු ලියුවේ හැඟීම්වලට භාෂාවක් ලබා දෙමිනි. ඒ නිසාම ඔහුගේ ගීත ගායනා වූයේ ගායකයන්ගේ හඬින් වුවද, ඒවා කතා කළේ මිනිස් හදවත්වල නිහඬ සංවාදයයි.
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයෙ නාවත් කම් නෑ ඉතිං…
ප්‍රේමකීර්තිගේ ගීත ලැයිස්තුව ගණන් කළ නොහැකි තරම් පුළුල්ය. “ආදර ගඟුලෙහි”, “ආදරණීය නේරංජනා”, “ආදරයේ උල්පත වූ අම්මා”, “මල් වැහි සීතල මල් වැස්සේ”, “මීදුම් වළාවන්”, “සඳ කැන් වැසිලා”, “මේ නගරය”, “විශාඛාව ඔබ”, “සමනලයා මල හා ළමයා සේ”, “රතු ගුරු පාරේ”, “රන් සමනළයෝ”, “දෙව්රම් වෙහෙරේ”, “අවසර නැත මට”, “හෙට දවසේ අප දෙදෙනා” ඇතුළු ගීත සිය ගණනක් නොව, දහස් ගණනක් ශ්‍රී ලාංකේය සංගීතයට දායාද කළේ ඔහුය.
ඇස්තමේන්තු අනුව ගීත 1,700කට අධික සංඛ්‍යාවක් ඔහු අතින් නිර්මාණය වී තිබේ. ඒවායේ විශේෂත්වය වන්නේ එකම රටාවක් තුළ සිර නොවී, සෑම ගීතයකටම වෙනස් ආත්මයක් සහ වෙනස් ජීවයක් තිබීමයි.
ඔහුගේ පදවැල්වල ඇත්තේ කවියෙකුගේ මනස පමණක් නොවේ. දාර්ශනිකයකුගේ ගැඹුරක්, ආදරවන්තයකුගේ මෘදු බවක්, මවකගේ උණුසුමක් සහ ජීවිතය හොඳින් කියවාගත් මිනිසෙකුගේ අත්දැකීමක් ද ඒ තුළ ගැබ්ව ඇත.
“සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ…”
මෙවැනි පද පෙළක් කියවූ විට එය ගීතයක්ද, කවියක්ද, නැතිනම් ජීවිතයේම නිහඬ හඬක්දැයි වෙන්කර හඳුනාගැනීම අපහසුය.
ඒ නිසාම ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචකයකු පමණක් නොව, ශ්‍රී ලාංකේය ගේය සාහිත්‍යයට නව සෞන්දර්යයක් හඳුන්වා දුන් නිර්මාණකරුවෙකු ලෙස ද හදුන්වා දීම අතිශයෝක්තියක් නොවනු අැත.
හඬ නිහඬ කළ හැකි වුවත්… නිර්මාණය නිහඬ කළ නොහැකි විය
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ජීවිතය ගීත රචනයෙන් පමණක් සීමා වූයේ නැත. ඔහු ගුවන්විදුලි නිවේදකයෙක්, වැඩසටහන් සම්පාදකයෙක්, නිෂ්පාදකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවෙක්, චිත්‍රපට ගීත රචකයෙක්, විශේෂාංග ලේඛකයෙක්, කවියෙක් සහ සංස්කෘතික චින්තකයෙක් විය.
“විසිතුර” පුවත්පතේ විශේෂාංග කතුවරයකු ලෙසත්, “සිළුමිණ”, “දිනමිණ”, “ලංකාදීප” ඇතුළු පුවත්පත් රැසකට ලිපි සහ කවි සපයමින් ඔහු ලිවීමේ කලාවටද සුවිශේෂී අරුතක් එක් කළේය. ඔහු අතින් බිහි වූ “නොසැලෙන් ඉන්ද්‍රකීලය සේ”, “අන්තිමය” සහ “සිහින සතක්” වැනි කෘතිද අදටත් පාඨක මතකයේ රැඳී තිබේ.
ඒ නිසාම ප්‍රේමකීර්ති යනු එක් විෂයයකට හෝ එක් කලා මාධ්‍යයකට සීමා කළ නොහැකි පුළුල් පරාසයක නිර්මාණකරුවෙකි. ඔහු ගිය තැන වචනවලට පණ ලැබිණි. ඔහු ස්පර්ශ කළ නිර්මාණවලට කාලය පරදා ජීවත් වීමේ වරම ලැබිණි.
එහෙත් නිර්මාණකරුවකුගේ ජීවිතය සැමවිටම නිර්මාණ මෙන් සුන්දර නොවේ.
1977 දේශපාලන පෙරළියත් සමඟ ප්‍රේමකීර්තිගේ වෘත්තීය ජීවිතයටද දැඩි බලපෑම් එල්ල විය. අභූත චෝදනා, කටකතා, බලපෑම් සහ අනිවාර්ය නිවාඩු වැනි අසාධාරණයන්ට මුහුණ දීමට ඔහුට සිදුවිය. එහෙත් ඒ කිසිවක් ඔහුගේ ආත්ම විශ්වාසය බිඳ දැමීමට සමත් වූයේ නැත.
ඒ කාලයේ සජීවී ගුවන්විදුලි වැඩසටහනක් අතරතුර අහම්බෙන් මෙන් පුටුවක් පෙරළුණු අවස්ථාවක, සිය සුපුරුදු සිනහව සමඟ ඔහු පැවසූ වදන් අදටත් ශ්‍රාවක මතකයේ සදාකාලිකය.
“සමාවෙන්න හිතවතුනි… ඔබට ඇසුණේ පුටුව පෙරළුණු ශබ්දය මිස, මම වැටුණු ශබ්දය නොවෙයි.”
එය හුදෙක් විහිළුවක් නොවීය. ජීවිතයේ බිඳවැටීම් ඉදිරියේ පවා නැඟී සිටින මිනිසෙකුගේ චරිතාංගය එම වදන්වල සැඟවී තිබිණි.
නමුත් 1989 ජූලි 31 වැනිදා, ශ්‍රී ලංකාව අඳුරුතම දේශපාලන සමයක් පසුකරමින් සිටියදී, ඒ වෙඩි උණ්ඩ ඉලක්ක කළේ ඔහුගේ හදවතය. වයස අවුරුදු 42ක් පමණක් වූ ප්‍රේමකීර්ති ද අල්විස් සිය නිවසේදීම ඝාතනය කෙරිණි.
එදින නතර වූයේ මිනිසෙකුගේ හදගැස්ම පමණි. ඔහුගේ නිර්මාණ ජීවිතය නොවේ.
ප්‍රකට ලේඛක ධර්මසිරි ගමගේ වරෙක ප්‍රේමකීර්ති ගැන ලියමින් පැවසුවේ, “කවියකුගේ ගී පොත මළගමකදී ගිනි තැබිය නොහැක” යන්නයි. එම වදන් ප්‍රේමකීර්තිගේ ජීවිතයට අතිශයින් ගැළපේ. මන්ද, ඔහුගේ භෞතික සිරුර මිහිදන් කළ හැකි වුවද, ඔහුගේ වචන මිහිදන් කළ නොහැකි බැවිනි.
අදත් රේඩියෝ තරංගයකින්, වේදිකාවකින් හෝ නිහඬ සන්ධ්‍යාවක ගීයක් ඇසෙන විට ප්‍රේමකීර්ති නැවතත් අප අතරට පැමිණෙයි. ඒ ඔහුගේ හඬින් නොව, ඔහු ලියූ වචනවලින්ය. ඒ වචන තවමත් ආදරය උගන්වයි. මනුෂ්‍යත්වය සිහිපත් කරයි. ජීවිතය විඳින්න කියා දෙනවා පමණක් නොව, වේදනාව පවා සුන්දර ලෙස දරාගන්නා ආකාරයද කියා දෙයි.
වසර 37ක් ගිය තැනත් අදත් අප ඔහුව මෙනෙහි කරමින් සිටිමු !
ඔහුයි අපට අහිමි වූ තනි තරුව….

