මම හිතන්නේ තේනුවරව ඉතා සියුම් ව තේරුම් ගන්න ඕන චරිතයක්. වර්තමානය තුළ ඇස් දෙකට පෙනෙන දෙයින් තේනුවරව තේරුම් ගන්න බෑ. තේනුවර වැඩ කරන්නේ කලා ඉතිහාස ක්‍රියාවලියක. තේනුවරගේ කලාව තේරෙන්නේ කල් ඉකුත් උනාට පසුව.
මේ ලක්ෂණය මම අශෝක හදගම තුළත් දකිනවා. එයාලගේ කලාව පුද්ගලානුබද්ධ නමුත් ඒ මගින් සමාජය විනිවිදින කාලරේඛීය කලාවක්. සමකාලීනත්වයේ තථ්‍යාකාරය කලාත්මක උත්කර්ශයට නංවන කලාවක්. මේ අය අනවරත අභ්‍යන්තර ඒකාග්‍රතාවක ඉන්නෙ. මේ දෙන්නා අතුරින් හදගම ඉදලා හිටලා සමාජයට අදහස් උදහස් නිර්ලෝභීයව මුදා හරින නිසා හදගම සමාජයට හැගවුම්කරණය වෙනවා. තේනුවර සමාජයට අභිමුඛ වෙන්නේ නැති තරම්. නමුත් තේනුවර වැඩේ තුළ ඉන්නවා. තේනුවර දන්නවා අවසානයේ ඉතුරු වෙන්නේ සිය දෘෂ්‍ය සළකුණු විතරක් බව. ඒ නිහඩ දෘෂ්‍ය සළකුණු දවසක කතා කරන බව තේනුවර හිතන බවයි මම හිතන්නෙ. කොටින් ම තේනුවර හදගම තරම්වත් සිය කලාව ගැන සමාජයෙන් එන විචාර ගැන උනන්දු වෙන්නෑ.
සිත්තරකු හැටියට මම තේනුවරගේ කල් ක්‍රියාවට කැමතියි. නමුත් මට තේනුවරගේ තත්වය නඩත්තු කරන්න බෑ. ඒක තමයි මගේ උරුමය. මම හිතන්නේ වර්තමානය තුළ ම සංදර්භයට අදාලව මට දිය වෙන්න. ඒ නිසා මගේ කලාවේ ඉමෝෂන් තියෙනවා. තේනුවරගේ කලාවේ ඉමෝෂන් නැහැ. නමුත් මානව සම්පීඩ්‍යතාවක්, නිහඩ දේශපාලන සුළි කුණාටුවක් තේනුවරගේ කලාවේ තියෙනවා. අනෙක තේනුවරගේ කලාව ඉන්ටර්ලෙක්චුවල් කලාවක්. සංකල්පීය කලාවක්. මගේ කලාවේ ශෘංගාරය නැති උනත් එක්තරා ශෘංගාර ගතිකත්වයක ආස්වාදයෙන් විදවන කලාවක් කියලා මට හිතෙනවා.
හැම කලාකාරයෙක් ම හිතන්නේ තමන්ගෙ වැඩේ හොද ම වැඩේ කියලයි. මමත් එහෙමයි. එහෙම සංදර්භයක මම ඇරුණුවිට මම කැමතිම කලාකරුවා තේනුවර.
ඇත්තටම මට අනුව තේනුවර තරම් සිය කලාවට දේශපාලනික සාක්ෂරතාවයක් ඒකාබද්ධ කරපු ලාංකේය දෘෂ්‍ය කලාකරුවෙක් නැති තරම්. තේනුවරගේ බැරල්වාදය සහ සුන්දරකරණය කලා මාලා අති විශිෂ්ඨ දේශපාලන ප්‍රකාශන. තේනුවරගේ කලා ප්‍රදර්ශනය නැරඹීමට රනිල් වික්‍රමසිංහ සහ මෛත් වික්රීරමසිංහ ආ පමණින් ඒ මත පිහිටා තේනුවරගේ කලාව ගැන නිෂ්ටාවට විනිශ්චයන් දීම ගැන මම එකග නැහැ. නමුත් ප්‍රේක්ෂකාගාරය අනුව කලා කෘති ගැන යමක් කියවෙන බවත් අපි අමතක කරන්න හොද නැහැ.
මගේ කලාවේ වර්තමාන අමු ගතියට එලිට් සමාජය කැමති නැති වීම ගැන මම දන්නවා. කලා කෘති වලට අදාල ප්‍රේක්ෂක සම්බන්ධතාවයෙන් එහාට යමින් තේනුවර රනිල් වික්‍රමසිංහ එක්ක තියෙන සම්බන්ධය ගැන නම් තේනුවර සම්බන්ධයෙන් මට පෙනී ඉන්නනම් බෑ. එතැන පොඩි විචිකිච්චාවක් තියෙනවා.
~ සුජිත් රත්නායක
RN