මෙයට වසර තිස් හතරකට පෙර, එනම් 1989 වසරේ ජුලි 31 වැනිදා ප්‍රේමකීර්ති ද අල්විස් නම් ශක්‍යතාවයෙන් පිරි කලාකරුවා අප අතරින් වෙන් ව ගියේ ය. රාත්‍රි කළුවර මැද හෝමාගම නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රේමකීර්ති ද අල්විස් ව පිටතට කැඳවාගෙන යන්නේ ප්‍රශ්න කිරීම පිණිස රැගෙන ගොස් ආපසු එවන බවට නිවැසියන් වෙත පිළිණ දෙමිනි. එහෙත් හතළිස් දෙහැවිරිදි දෙදරු පියෙක් වූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයා, ජනකාන්ත නිවේදකයා ස්වල්ප මොහොතක අවසරයෙන් නිවසට යාර දෙසියයක් නුදුරේ වෙඩි පහර වැද අවසන් ගමන් ගියේය.
තම කලා දිවියේ කූඨප්‍රාප්තියටත් පළමුව නාඳුනන තුවක්කුවක් මගින් නිහඬ කරවනු ලැබූ ප්‍රේමකීර්ති පිළිබඳව ධර්මසිරි ගමගේ විසින් පුවත්පතකට මෙසේ ලීවේ ය. ‘කවියකුගේ ජීවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බඳු ඔහුගේ හදවත සිදුරු වීමේ පුවත අසා අපි ඒ අඳුරු රැය පහන් වනතුරු කදුළු සැළුවෙමු. පසු දා උදෑසන ඔහු හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණ ද මරණයට සිනහව උදුරාගත නොහැකි විය’ භීම සමයක තවත් එක් නිර්මාණශීලී මිනිස් ජීවිතයකට එලෙස බලහත්කාරයෙන් නැවතීමේ තිත යොදන ලදි.
වර්තමානයේ දී ප්‍රේමකීර්ති ද අල්විස් නාමය හුදෙක් ම අන්දලුසියාවේ මලාගාහි වීදි සංචාරය කරවන දැවැන්ත සුරුවමකට රූපාන්තරණය කර ඇත. ප්‍රේමකීර්ති ලියූ ගීත සමහරෙක යටිපෙළ අර්ථය හෝ පසුබිම් පුවතයැයි නාමකරණයෙන් යුතු ග්‍රාම්‍ය කතාපුවත් වමාරමින්, සයිබර් අවකාශය තුළ ද නේක සභා මැද ද වේදිකා මස්තකයේ ද ප්‍රේමකීර්තිගේ ආලෝකයෙන් දැල්වෙන්නට තැත් කරන කුදු ප්‍රාණීන් රාසියක් ම ප්‍රේමකීර්තිගේ පද්‍ය රසය ට තමා ගෙන ආ කුණු රසය මුසු කරමින් බෙදා හරිති. ප්‍රේමකීර්තිගේ මුල් විවාහයේ සහ පසු විවාහයේ බිරින්දෑවරු අදටත් ජීවත්වන බව ද ප්‍රේමකීර්තිගේ දියණිය සහ පුත්‍රයා ද මෙරට වාසය කරන බව ද ඒ දරුවන් දෙදෙනාම මේ වන දරුවන් සිටින වැඩිහිටියන් බව ද අමතක කරන සමහර කලාකාමී ළදරු වැඩිහිටියන් ප්‍රේමකීර්තිගේ සමහර ගීත රචනා අරභයා විවිධ පසුබිම් කතාන්දර පවසමින් අසා සිටින්නන් කුල්මත් කරති. එම ප්‍රලාප සහ ප්‍රවාද සියල්ලම විශ්ලේෂණය කළහොත් ප්‍රේමකීර්ති ද අල්විස් යනු මත්පැන්වලට ගිජු, අසීමිත ලෙස මත්පැන් බෝතලයට කෑදර ලෙසින් අර්ථ ගැන්වෙන බව නොසිතන ඔවුහු ප්‍රේමකීර්තිගේ ආලෝකයෙන් තම අනාගතය ආලෝකමත් කරනු රිසියෙන් හිතළු සහ පල් හෑලි සාහිත්‍යානුසාරයෙන් බෙදා හරින්නෝය.
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ගී පද රචකයාගේ ගීත ඇසුරින් සාකච්ඡා කරන්නට බොහෝ කරුණු ඇතත් ජනප්‍රිය ධාරාව විසින් අපට එය අමතක කර ඇත. ඔහු වික්ටර් රත්නායකයන්ට ලියූ ගී සාපේක්ෂව මෙතරම් ප්‍රශස්ත වන්නටත්, පරිපූර්ණ වන්නටත් හේතුව කිමෙක්දැයි අප අඩුම තරමේ වික්ටර් රත්නායකගෙන් හෝ විමසා බැලිය යුතු ය. ‘තනි තරුවේ,සඳ කැන් වැසිලා,ඔබෙ දෙතොල් පෙති ලිහී,අපි හැඟුම්වලට ඉඩ දී,ආදරයේ උල්පත වූ අම්මා,තරු අත් අකුරින්,මියුරු කල්පනා’ වැනි ගීත නිදසුන් ලෙස ගෙන වික්ටර් – ප්‍රේම් සුසංයෝගයේ ස්වභාවය ද ගැලපීම ද පිළිබඳ විචාරාත්මකව ප්‍රශ්න කළ යුතු ය. ඉන් නොනැවතී ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ සමහර ගීත වල ට අව්‍යක්ත ලෙස සහ බලහත්කාරයෙන් ඔබ්බවා ඇති යෙදුම් පිළිබඳව ද විමසිලිමත් විය යුතු ය. නිරංජලා සරෝජනී ගැයූ ‘ඔබ දැක ගැනීමේ’ ගීතයේ එන ‘දෙඇසේ කැවේ කැවේ වැලි ලෑ විලාසේ’ නම් ගී පදය නූතන ගීත රචකයෙක් විසින් ලියන ලද්දක් නම් අත්තනායක එම්. හේරත් වැනි චිත්තරූප කේන්ද්‍රීය ගීත විචාරකයින් වියතුන් සභා මැද පරල වනු නියතය. මාලනී බුලත්සිංහල ගැයූ ‘ඉරණම කෙතරම් විසකුරු වූව ද’ නම් ගීතයේ ‘තැන තැන පැන යන දිවියන් පසුපස ඔබ මල්මිටි තැබුවා’ යන විකාරසහගත යෙදුම ද ඊට දෙවැනි නැත. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ගායකයන් ඉදිරියේ ප්‍රවේසම්සහගත ව පෑන හැසිරවූ පද රචකයාට ගායිකාවන් අරභයා ගී රචනා කරන විට භාවතිෂ්‍ය යෙදුම් වලින් ගීත නිම කරන්නට තිබූ හදිසිය කුමක්දැයි සාකච්ඡා කළ යුතුම ය.
ප්‍රේමකීර්ති ද අල්විස් පිළිබඳ සිහිපත් කරන විට සිංහල සිනමාව මග හැර යා නොහැකි නමුත් සත්‍ය වශයෙන් ම සිංහල සිනමා ගීතය සහ ප්‍රේමකීර්ති ද අල්විස් අතර පැවති සබඳතාව සමාන කළ හැක්කේ සිංහල සිනමාව සහ ෆරීනා ලායි අතර පැවති සබඳතාවට ය. ප්‍රේමකීර්ති සිංහල සිනමා ගීතය තුළ ෆරීනා ලායිගේ චරිතයට පණ පොවන විට මාලනීට, ස්වර්ණාට, අනෝජාට පණ පොවන ලද්දේ සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ සහ කුලරත්න ආරියවංශ වැනි වෙනත් ගීත රචකයින් ය. මාලනී සහ ගීතා නිත්‍ය පෙම්වතිය වූ සිංහල සිනමාවේ අයිටම් ඩාන්ස් නර්තනයක් සමගින් සරල වින්දනය සඳහා විශේෂාංගීකරණයට ලක් වූ රූමතිය ෆරීනා ලායි ඉඳහිටක උප ප්‍රධාන චරිතයක් සමග ‘සැණකෙලිය’ වැනි ජනකාන්ත සිනමා නිර්මාණයක ක්ලෝස් අප් දර්ශන සඳහා අවස්ථාව ලැබුවා ය. ඒ ආකාරයෙන් ම ප්‍රේම ගීතය හෝ මුඛ්‍ය ගීතය සුනිල්ට, අජන්තාට, ධර්මසිරි ගමගේට වෙන්වන සිනමා නිර්මාණ තුළ ම ෆ්‍රෙඩී සිල්වාගේ, පුන්සිරි සොයිසාගේ හෝ නිහාල් නෙල්සන්ගේ හඬින් ගැයෙන උපහාසාත්මක හෝ සංවාදාත්මක ආකෘතියේ ගීත ලියන්නට තෝරාගන්නා ප්‍රේමකීර්ති ද අල්විස්, ෆුල්ටොස් පන්දු යවන්නට කැඳවා තිබිය දී අනිච්ඡානුගව යෝකර් පන්දු ද යැවූ අවස්ථා ඕනෑතරම් ඇත.
1972 වසරේ තිරගත වූ ‘සුජීවා’ චිත්‍රපටය සඳහා ධර්මසිරි ගමගේ ‘චන්දන ඇල්ලෙන් නාලා’ ගීතය රචනා කරන විට’නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ’ ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර ය. ජනකාන්ත ජෝති – ඇන්ජි සුසංයෝගයේ පෙමාතුර හඬ වෙනුවෙන් ඔවුන්ගේ පෑන් තුඩු මෙහෙයවන විට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පෑන කැඳවන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ සෝපාහාසාත්මක හඬ උදෙසා ය.
‘අලුත් කලාවක් හොයාගත්ත මං
දියුණුවෙන්න ඕනෑ නම්
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බං පෙත්සම්’
1974 වසරේ තිරගත වූ ‘කස්තුරි සුවඳ’චිත්‍රපටය ට සෝමපාල ලීලානන්ද ‘මල් වයසේ මධු සිහිනේ, පාට පොදක් තිලක ලා, පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ මහා සාගරේ, යන ගීත ද , කරුණාරත්න අබේසේකර ‘හද විමන් දොරින්’ ගීතය ද , ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ‘ලස්සන ලෝකෙක ඉපදීලා’ ගීතය ද රචනා කරන විට ප්‍රේමකීර්ති ද අල්විස් නැවතත් ෆ්‍රෙඩී සිල්වා වෙනුවෙන් මෙසේ ලීවේ ය.
‘ගිගිරි ජගරි හඬවනා – කසෙන් අසුට තලමිනා
තේරු පට්ට තීරු තීරු කළම්බා එමී
කඩුද කොඩිද වන වනා – පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙ මහා රාජා මං’
එම වසරේ ම තිරගත වූ ‘දුලීකා’ චිත්‍රපටයට සුනිල් ආරියරත්න ‘සීත රෑ යාමේ’ සහ ‘රජ වැඩකාරයෝ’ නම් ගීත ද ධර්මසිරි ගමගේ ‘ආදර මල් පවනේ’ ගීතය ද රචනා කරන විට ප්‍රේමකීර්ති සුපුරුදු පරිදි ෆ්‍රෙඩී සිල්වා උදෙසා මෙසේ ලීවේ ය.
‘ජැක් සහ ජිල් දවසක් දා
කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා දඩස් කියා’
කෙසේ නමුත් ප්‍රේමකීර්ති ද අල්විස් සිංහල සිනමාවේ හිඩැස් පුරවන සක්කයක් බවට පත් වෙමින් වුව ද තම ප්‍රතිභාව සමග නොනවතින අරගලයක යෙදුණේ ය.
‘ශ්‍රී මදාරා’ චිත්‍රපටය තිරගත වූයේ 1977 වසරේ දී ය. සුනිල් ආරියරත්න සහ කේ.ඩී.කේ ධර්මවර්ධන ද ගීත රචනාවෙන් දායක වූ එම චිත්‍රපටයට සුනිල් එදිරිසිංහගේ හඬට ප්‍රේමකීර්ති ද අල්විස් ලියන මේ ගීතය එම චිත්‍රපටයේ අනෙක් සියලුම ගීත අභිබවා ජන හද දිනීය.
‘හිසේ ගිනි ඇවිලෙතේ – පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ – පිසින්නේ කවුරුදෝ’
1976 වසරේ තිරගත වූ ‘දුහුළු මලක්’ චිත්‍රපටයට ‘බොඳ මීදුම් කඳු රැල්ලේ’ සහ ‘රන් කෙන්දෙන් බැඳ’ ගීත රචනා කරන අජන්තා රණසිංහ හට තියුණු තරගයක් දෙන ප්‍රේමකීර්ති ද අල්විස් මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් ‘රෝමය ලෙසේ අතීතයේ ගිනි ඇවිලේ’ නම් ගීතය රචනා කළේ ය.
‘තුන්යම පුබුදා ජීවිතයේ කාලය පියඹනවා
වැහිබීරුම දුටු ලිහිණින් වාගේ
කැළඹේ ලොව කැළඹේ
වෙණ වයා නැළවෙමූ නීරෝ වගේ අපී’
‘මංගල තෑග්ග’ චිත්‍රපටය තිරගත වූයේ 1987 වසරේ දී ය. කුලරත්න ආරියවංශ රචිත ‘තුරුලක හුරතල් පින්නේ’ ගීතය යටපත් කරමින් කැමිලස් පෙරේරා රචිත ‘වාසනා වේවා.. වාසනා වේවා’ ගීතය ජනප්‍රියත්වයේ උපරිම තලයට ළඟා විය. ඒ අතර එඩ්වඩ් ජයකොඩි , බන්දුල විජේවීර සහ සුනිල් එදිරිසිංහ වෙනුවෙන් ප්‍රේමකීර්ති රචනා කරන ‘එක යායේ කකා වැටී’ නම් ගීතය මධ්‍යම පාංතිකයන්ගේ සර්වකාලීන මංගල ගීතය ලෙසින් ජනාදරයට පත් විය. අදටත් එය එසේම ය.
‘එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ – කළ ආරස්සා
නාස් ලණුව දමනවාලු – කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා’
1974 තිරගත වූ ‘දිනුම් කණුව’ චිත්‍රපටය ට සුනිල් ආරියරත්න ‘ඉරට අකීකරු සඳට අකීකරු’ නම් යුග ගණනක් රැව් දෙන ගීයක් රචනා කරන විට ෆ්‍රෙඩී සිල්වා සහ ජෝතිපාල වෙනුවෙන් ‘එළි වෙනවා රෑ වෙනවා’ යැයි ගීයක් ලියන ප්‍රේමකීර්ති ද අල්විස් ඉන් සෑහීමකට පත් නොවී වික්ටර් රත්නායකගේ හඬ උදෙසා පෑන මෙහෙයවමින් සදා අමරණීය ගීයක් සිනමාවට තිළිණ කළේ ය.
‘මියුරු කල්පනා නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද සිතත් හිනැහුණා
වරෙක නැලැවුණා – වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා’
උපුටා ගැනීම් සහ සංසන්දනයන් ද සහිත මේ සා විසල් විස්තරයක් ලියා තබන්නට උත්සුක වන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ නිර්මාණකරුවාගේ සැබෑ අතීතය සහ වර්තමානයේ දී උත්කර්ෂයට නගන ව්‍යාජ ප්‍රලාපයන් තුළ රසික සමාජයට මගහැරුණු දෑ කෙතරම්දැයි ඉඟි කරනු පිණිසම ය. ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගීත රචකයාට ඉතිහාසය තුළ නිවැරදි ස්ථානගත වීමකට ඉඩ අවසර නොලැබුණු අතර සමකාලීනයන් සමග සසඳන විට ඔහු හැදෑරීම පසෙක ලා සහජය පිළිබඳ විශ්වාස කළ බව ද පෙනී යන්නේ ය.
වරක් ෆ්‍රෙඩී සිල්වා අනුස්මරණ උළෙකදී නුවන් නයනජිත් කුමාර ‘එකදාස් නමසිය අසූ නමය වසරේ දී ප්‍රේමකීර්ති ද අල්විස්ව ඝාතනය නොකළේ නම් සමාජය අද වන තුරු ම ඔහුට හිමි ගෞරවය සහ කතිකාව පුද නොදෙනු ඇත’ යනුවෙන් ප්‍රකාශ කළේය. ඔහුගේ සත්‍යවාදී වචන තුළ ගැබ් වූ යථාර්ථය අමිහිරිය. නමුත් දිනෙන් දින මතුවන ප්‍රේමකීර්ති ද අල්විස් ආශ්‍රිත පශ්චාත් මරණ පරීක්ෂණ සංවාද, සමථ මණ්ඩල සංවාද සහ ලොග් වාර්තා සංවාද වැනි ගම්මැද හෑලිවලට හැරෙන්නට ප්‍රේමකීර්ති ද අල්විස් අරභයා කෙරෙන විචාරාත්මක හෝ සබුද්ධික සංවාදයකට මහජන අවධානය හිමි නොවීම ම ඛේදවාචකයේ ස්වරූපය මැනවින් විදහා පානු ඇත.
මිත්‍රවරුනි ;
නොසිතූ මොහොතක අකාරුණික ලෙස ජීවිතය උදුරාගැනීමට ලක් වූ හතළිස් දෙහැවිරිදි ගීත රචකයෙකු අරභයා කතිකාවක් ගොඩනගනු පිණිස උපකල්පනීය පෞද්ගලිකත්වය හැරෙන්නට වෙනත් ඕනෑ තරම් පෘථුල සංවාද මාතෘකා ඇති බව ඔබ ට තවමත් නොපෙනෙන්නේ ද ?
~ සහන් කසීර වික්‍රමසිංහ