ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) දින අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාව ඉහල ගොස් තිබෙන බව සඳහන්.
මේ අතර මහවැලි ගගෙහි ඉහළ ධරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානම ගැන වාර්මාර්ග දෙපාර්තමේන්තුවද දැනුම් දී තිබේ.
මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙසේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බවයි දැනුම් දී ඇත්තේ.
ගතවූ පැය 24ක කාලය තුළ ලැබුණු වර්ෂාපතනයන් හමුවේ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පවසන්නේ මහවැලි ගඟ ඉහළ ප්‍රදේශය වන නාවලපිටිය, නානුඔය, වටවල වැනි ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ලැබී ඇති බවයි.
මේ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ සිටින ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුම් දීමට පියවර ගෙන ඇත. මේ වන විට වතුර මට්ටම් සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් නොකළද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බව දැක්වෙයි.
කැලණි ගඟ ඉහළ ප්‍රදේශය වන ලක්ෂපාන, නෝර්වුඩ් සහ ඒ ආසන්න ප්‍රදේශවලට මිලිමීටර් 100 -150ත් අතර වැසි වාර්තා වී ඇති අතර ඒ අනුව කැලණි ගඟ ඉහළ ද්‍රෝණිය වන කිතුල්ගල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
මේ වන විට එම ජල මට්ටම් අඩුවෙමින් පැවැතියත් ඇතැම් පහත්බිම් යටවීමේ අවදානමක් පවතින බැවින් හංවැල්ල සිට අවිස්සාවේල්ල දක්වා ප්‍රදේශය සහ විශේෂයෙන් අවිස්සාවේල්ල සහ කිතුල්ගල සහ නෝවුඩ් අතර පහත් ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ නමුත් මෙම ජල මට්ටම් සීග්‍ර ලෙස වැඩි වීමක් පෙන්නුම් නොකරන බවත් නමුත් කැලණි ගඟේ පහළ ප්‍රදේශ වෙත ජල මට්ටමේ වැඩි වීමක් පෙන්නුම් කළ හැකි බවද පෙන්වා දෙයි.
මේ වන විට රත්නපුර ඉහළ ප්‍රදේශයේත් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ හේතුවෙන් රත්නපුරය ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වැඩිවී තිබුණද විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරන නමුත් ඇතැම් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බව සඳහන්.
මේ අතර තෙත් කලාපයේ නිල්වලා, ගිංගඟ ඇතුළු අනෙකුත් ගංගාවන් මිලිමීටර් 50-75ත් අතර වර්ෂාපතනයක් දක්නට ලැබී ඇත. එය ගංවතුර තත්ත්වක් දක්වා වැඩිවීමක් අපේක්ෂා නොකරන බවත් මහ ඔය, අත්තනගලු ඔය ආශ්‍රිතව එතරම් වර්ෂාපතනයක් දක්නට නොලැබුණු බැවින් මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොපවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියි.


