කප් සිටුවීමෙන් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

අගෝස්තු 05, (LNW) මහනුවර: මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය නිමිත්තෙන් සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම අද පෙරවරුවේ සිදු කෙරිණි.
අලුයම 04 පසුවී මිනිත්තු 10ට යෙදුණු සුබ මොහොතින් නාථ, විෂ්ණු,පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම සිදුවිය.
ඒ අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයෙන් කපා වැඩම කරන ලද කප ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පල්ලේ දේවාලයේදී සිව් මහා දේවාල සඳහා බෙදා හැරීමෙන් අනතුරුවය.

ඇසළ පෙරහැර ආරම්භය නිමිත්තෙන් එම කප සිටුවීම සිදුවූ අතර සිව් මහා දේවාලයන්හී ප්‍රධාන දේවාලය වන විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාව සඳහා එහි බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ද සහභාගීවිය.
නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දේවාලයේ කප් සිටවූ අතර පත්තිනි දේවාලයේ කප් සිටුවීම සිදුවූයේ එහි බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහනුවර කතරගම දේවාලයේ කප් සිටුවීම කතරගම දේවාලයට ආවේණික චාරිත්‍ර මුල් කොට සිදුවූ අතර එය එහි බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහැර දේවාලය වටා ගමන් ගත් අතර මෙතැන් සිට අභ්‍යන්තර පෙරහැර පහක් පැවැත්වෙනු ඇත.
දේවාල අභ්‍යන්තර පෙරහැරින් අනතුරුව අගෝස්තු මස 10 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය සිදුවේ. එතැන් සිට පුරා දින 05ක් එනම් අගොස්තු මස 14 වන දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දෝල් පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු මස 15 වන දිනය.

එම මස 19 වන දින අවසන් රන්දෝලි පෙරහැර ගමන් ගන්නා අතර එදින සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ඓතිහාසික ආදාහන මළු විහාරයේ තැම්පත් කිරීමෙන් අනතුරුව පසුදින අලුයම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ එහිදී දිය කැපීමේ චාරිත්‍රය සිදුකරති.

අනතුරුව සිව් මහා දේවාල පෙරහැර කටුකැගේ ගණදෙවි කෝවිලට පැමිණ පුද සත්කාර කොට ආදාහන මළුව පරිශ්‍රය අසලට පැමිණෙමින් ඇසළ පෙරහැර හා එක්ව දහවල් පෙහැරට එක්වේ. සධාතුක පෙරහැර කරඩුව නාථ, විෂ්ණු,පත්තිනි හා කතරගම දේවාල සමඟින් දහවල් පෙරහැරේ ගමන් කිරීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැර වීදි සංචාරය නිමාවට පත්වේ.

පෙරහැර ගමන් කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව මෙම වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ. මහනුවර ජනපති මැදුරේදී පැවැත්වෙන එම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම ද එහිදී සිදුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...