2025 පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය : සමස්තයක් වශයෙන් සුබදායකයි !

Date:

මේ වන විට මෙම (2025) වසරේ පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. සමස්තයක් ලෙස එම සංඛ්‍යාලේඛණ තුළින් පිළිබිඹු වන්නේ සුබදායී තත්ත්වයක්.

බදු ආදායම

වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 2,152ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 25.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හය තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත්, වසර අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590 ඉක්මවිය හැකියි. අදාළ ප්‍රක්ෂේපණය රුපියල් බිලියන 4,665ක්.

වසරේ පළමු මාස හය අවසන් වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙහි ඔවුන්ගේ පංගුවෙන් 47.3%ක්ද, රේගුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 46.4%ක්ද, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 45.0%ක්ද එකතු කර ගෙන ඇති අතර සමස්තයක් ලෙස වර්ෂාවසාන ඉලක්කයෙන් 46.9%ක් එකතු වී තිබෙනවා. පසුගිය වසරේ පළමු මාස හය අවසන් වන විට එකතු වී තිබුණේ එම වසරේ මුළු බදු ආදායමෙන් 46.6%ක් පමණයි. සුළු වෙනසක් වුවත්, මෙය ඊට වඩා හොඳ තත්ත්වයක්.

බදු ආදායම් වැඩි වීම සඳහා දායක වී තිබෙන්නේ වක්‍ර බදු ආදායම් ඉහළ යාමයි. වර්ෂාවසාන වැට් බදු ඉලක්කයෙන් 48.7%ක් දැනටමත් එකතු වී ඇතත්, වර්ෂාවසාන ආදායම් බදු ඉලක්කයෙන් එකතු වී තිබෙන්නේ 41.9%ක් පමණයි. ඒ අනුව, සෘජු බදු වලින් ආදායම් වර්ධනය කෙරෙහි ලොකු දායකත්වයක් ලැබී නැහැ. මෙයින් පිළිබිඹු වන්නේ බදු එකතු කරගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වීමට වඩා පරිභෝජනය යාමේ බලපෑමයි. වාහන ආනයන වලින් වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් බිලියන 129.1ක බදු ආදායමක් එකතු වී ඇති අතර ඉන්ධන වලින් රුපියල් බිලියන 112ක බදු මුදලක් එකතු වී තිබෙනවා.

සමස්ත රාජ්‍ය ආදායම

වසරේ පළමු අර්ධය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,325ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 24.7%ක වර්ධනයක්. මෙම වර්ධන වේගය මෙලෙසම පැවතුනහොත් වර්ෂාවසාන ලැබීම් රුපියල් බිලියන 5,100ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රක්ෂේපණය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 110කින් පමණ වැඩි අගයක් .

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම්

වසරේ පළමු මාස හය තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,242ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 15.5%ක වර්ධනයක්. මෙම අනුපාතය මෙලෙසම පැවතුනහොත් වසර අවසන් වන විට පුනරාවර්තන වියදම අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970 මට්ටමට යන්නේ නැහැ.

ප්‍රාග්ධන වියදම්

වසරේ පළමු මාස හය තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 224කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 8.6%ක අඩු වීමක්. මේ අනුව, රාජ්‍ය ආදායම ඉලක්ක කරා යමින් තිබියදී පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද සීමා වී ඇති ආකාරය දකින්නට පුළුවන්.

ප්‍රාථමික අයවැය අතිරික්තය

පළමු මාස හයක කාලය තුළ රුපියල් බිලියන 859ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස හයක කාලයට සාපේක්ෂව 58.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක් වන අතර ඇස්තමේන්තුගත දදේනියෙන් 2.6%කට ආසන්නයි.

සමස්ත අයවැය හිඟය

වසරේ පළමු මාස හය අවසන් වෙද්දී පොලී ගෙවීම්ද ඇතුළුව ඇතුළුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 406කට සීමා වී තිබෙනවා. මෙය අයවැය ඇස්තමේන්තු වල ඇති රුපියල් බිලියන 2,200ක හිඟයට වඩා බෙහෙවින්ම අඩුයි.

සමස්ත චිත්‍රය

මේ අනුව, මේ වන විට ආණ්ඩුව විසින් කාලයක් පාලනයකින් තොරව අයාලේ ගිය රාජ්‍යමූල්‍ය කළමණාකරණ සරුංගලයේ නූල අතට ගැනීමට සමත්ව තිබෙනවා. මෙය දෙවසරකට පෙර ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවත්, පසුගිය වසරකට ආසන්න කාලය තුළද එම මාර්ගය තුළම ඉදිරියට යාම මගින් තත්ත්වය වඩා හොඳ අතට හරවාගෙන ඇති බව කිසිසේත්ම බැහැර කරන්න බැහැ.

වසරේ ඉදිරි කාලය තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මේ වන විට මහා භාණ්ඩාගාරය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රුපියල් සංචිත තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුවට ඔවුන්ගේ දේශපාලන අභිලාෂ පරිදි වියදම් ප්‍රමුඛතා වෙනුවෙන් හෝ ණය බර අඩු කර ගැනීම වෙනුවෙන් එම අතිරික්ත අරමුදල් වැය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම මූල්‍ය විනය අගය කළ යුතුයි.

රජය සතුව අතිරික්ත රුපියල් සංචිත ඇති බැවින් විදේශ ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වුවද එම රුපියල් වැය කළ හැකියි. මේ වන විට මහ බැංකුවට රජයේ අවශ්‍යතා වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, මහ බැංකුවකට රටේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට අලුතෙන් රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. රජයට ණය දීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මහ බැංකුවට රුපියල් නිකුත් කරන්නට වෙන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගිනුයි. එය නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීමට උදවුවක්.

අවශ්‍යනම් මූල්‍ය අරමුදලේ අවම අවශ්‍යතාවය වන දදේනියෙන් 2.3% ඉක්මවන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. එවැන්නක් කිරීම මගින් ණය බර වඩා වේගයෙන් අඩු වේනම්, ඒ මගින් සිදුවන විශ්වාසය ඉහළ යාම හේතුවෙන් රටට විදෙස් ආයෝජන වඩා වැඩියෙන් ආකර්ෂණය විය හැකි අතර එමගින් රාජ්‍ය වියදම් අඩු වීමෙන් ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි නිශේධනාත්මක බලපෑම් ඉක්මවන ධනාත්මක බලපෑමක් අපේක්ෂා කළ හැකියි. ඉන්දියාවට වඩා අඩු තීරු බදු අනුපාතයක් ඇමරිකාවෙන් ලබා ගැනීමට හැකි වීමද ලංකාවේ ජයග්‍රහණයක් වන අතර එය කලාපයට එන ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උදවුවක්.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

කොළඹ LNW: 2014 - 2017 කාලයේ සබරගමුව පළාත් මහ...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: ඊයේ (06) අත්අඩංගුවට ගෙන...