රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW:
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත. මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුළෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කලේ මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවයි. දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද දින අධිකරණය හා පෙනී සිටින බවත් ඇය පැවසීය. ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිට ඇත.
එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණයේ පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසූ අතර, මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව එය සලකා බැලීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැදවීමට නියම කළ විනිසුරු වරිය එදිනට පෙර වග උත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර තිබෙන අතර, එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් රාජිත සේනාරත්න මහතා නම් කර ඇති අතර තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව රාජිත සේනරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඔහු කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.
