ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ඇඟළුම් සමාගමක් වූ Hela Apparel Holdings PLC හි අධ්යක්ෂ මණ්ඩලය තම සමාගම ඈවර කිරීම සඳහා ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වාණිජ මහාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබේ.
එම සමාගම කොළඹ කොටස් වෙළඳපොල වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී ඇති අතර එහි සඳහන් කර ඇත්තේ දිගින් දිගටම උද්ගත වන අර්බුද හමුවේ ණය ගෙවා ගැනීමට නොහැකි නිසා මෙම තීරණයට එළඹුණු බවයි.
Hela Apparel Holdings PLC මෙන්ම එහි අනුබද්ධ සමාගම් වන Hela Clothing (Private) Limited සහ Foundation Garments (Private) Limited යන සමාගම්වලට සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි බවට තීරණය කිරීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමූහයේ මූල්‍ය තත්ත්වය, මුදල් කරගත හැකි වත්කම්, වගකීම්, ද්‍රවශීලතා මට්ටම්, ණයගැතිභාවය, අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් සහ ණයහිමි වගකීම් පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කළ බවත් එම ලිපියෙහි දක්වා ඇත.
ණයහිමියන්ට, සේවකයන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සිදුවන හානිය අවම කර ගැනීමට සහ වටිනාකම ආරක්ෂා කර ගැනීමට උපරිම උත්සාහයක් ලෙස ප්‍රතිසංස්කරණ විකල්ප, ණය ප්‍රතිසංස්කරණ සහ උපායමාර්ගික ආයෝජන පිළිබඳව අධ්‍යක්ෂවරුන් විමර්ශනය කළ අතර සමාගම ඈවර කිරීමට තීරණය කළේ එම විකල්පයන් සියල්ල අසාර්ථක වීම, ප්‍රතික්ෂේප වීම හෝ තවදුරටත් වාණිජමය වශයෙන් ප්‍රායෝගික නොවන බව තහවුරු වීමෙන් පසුව පමණක් බවත් එම ලිපියෙහි සඳහන්.
ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අධිකරණ නියෝගයක් මගින් සමාගම ඈවර කිරීමට පසුගිය අගෝස්තු 4 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති අතර ඊට අදාළ පෙත්සම් අගෝස්තු 5 වනදා වාණිජ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.


