රෂිකා හෙන්නායක අගෝස්තු 09 , කොළඹ LNW :
• මුලතිව් දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් 515 දෙනෙකුට රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක් පත් සහ පොල් පැළ 3,000ක් බෙදා දෙයි
2030 වන විට ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත්, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන “කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ “උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහනේ තවත් වැදගත් අදියරක් ලෙස සහනාධාර ප්‍රදානය සහ පොල් පැළ බෙදාදීම මුලතිව්, මුල්ලියවල ප්‍රදේශයේදී සිදු කෙරිණි.
මෙහිදී පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් පොල් වගාකරුවන් 443 දෙනෙකුට සහනාධාර චෙක්පත් ප්‍රදානය කළ අතර, විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර චෙක්පත් පිරිනමන ලදි.
ඒ අනුව, ප්‍රතිලාභීන් 515 දෙනෙකු වෙත රුපියල් මිලියන 22.7ක සමස්ත සහනාධාර මුදලක් ලබාදෙන ලදී. මීට අමතරව, උතුරු පළාතේ පොල් වගාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පොල් පැළ 3,000ක් පමණ වගාකරුවන් වෙත බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
“උතුරු පොල් ත්‍රිකෝණය” ජාතික වැඩසටහන පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ ආරම්භ කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීම, අක්‍රීය ඉඩම් නැවත වගාවට යොමු කිරීම, පොල් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ ජාතික අපනයන ආර්ථිකයට පොල් කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය වැඩි කිරීමයි.



