පෙර ලිපියේ සහ ඊට පෙර වසර කිහිපයක් පුරා පළ කර තිබෙන ලිපි ගණනාවක පැහැදිලි කර ඇති පරිදි රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් එතැනින්ම ඉවර වෙනවා. ඒ එක්කම රටේ තවත් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. උදාහරණයක් විදිහට දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රශ්නය. දෙවැන්න ගැන වෙනත් ලිපියක හෝ වීඩියෝවක විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.
මෙතෙක් රටේ ඇති වූ ආර්ථික අර්බුද සියල්ලටම මෙන් හේතු වූ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට එකම හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය නොවුනත්, එම ප්‍රශ්නයද බොහෝ දුරට රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයේම ව්‍යුත්පන්නයක්. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීම කළ යුතුම දෙයක්. එහෙත්, එය ප්‍රමාණවත් නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳා ගැනීමෙන් අනතුරුව විණිමය අනුපාතය පාලනය කිරීමෙන්ද ඉවත් විය යුතුයි. ඔය කාරණා දෙක ඉෂ්ඨ වේනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් ඉවරයි.
ඉහත ප්‍රශ්න දෙක හා අදාළවම “සෑහෙන කොටසක්” කියා කිවුවේ අනපේක්ෂිත බාහිර කම්පන නිසා ඇතැම් විට මේ ප්‍රශ්න නැවත මතු වීමේ ඉඩකඩ සියයට සියයක්ම බැහැර නොවන නිසා. ඊට අමතරව, මේ දෙකම හරියට කළත්, වසර හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ එකතු වූ අසමතුලිතතාවන්ගේ බරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පමණයි. ඒ කටයුත්ත සාර්ථකව කර ගත්තොත්, ඉහත සමතුලිතා දෙක පවත්වා ගෙන ඉදිරියට යාම අපහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්නයක් මතු වුනොත් මතු වෙන්නේ යුද්ධයක් හෝ වසංගතයක් වැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණයි.
“රටට ඩොලර් උපයන්න හරි වැඩපිළිවෙළක් නැතිව එහෙම කරන්නේ කොහොමද?”
රටේ දැනට තිබෙන මානව සම්පත් හා අනෙකුත් සම්පත් උපයෝගී කර ගනිමින් රටට විශාල විදේශ විණිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි ආකාරය දන්නා විශිෂ්ඨ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකේ ඉන්නවා. අවාසනාවට රජය හෝ මහ බැංකුව ඒ අයගේ උපදෙස් පිළිපදින්නේ නැහැ. ආර්ථික සිද්ධාන්ත වලම හිර වී ඉන්න අපි වගේ මැට්ටන්ට ආර්ථික සිද්ධාන්ත පැත්තකින් තියා රටට ඩොලර් ගේන විදිහ ගැන පෙට්ටියෙන් පිට විසඳුම් ඉදිරිපත් කරන විශිෂ්ඨ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විසඳුම් නොතේරෙනවා වගේම මහ බැංකුවේ හා රජයේ ප්‍රතිපත්ති තීරණය කරන ආර්ථික විද්‍යාඥයින්ටත් ඒ විසඳුම් තේරුම් ගත හැකි බුද්ධියක් නැති වීම රටේ අවාසනාවක්.
සිද්ධාන්ත අමතක කර වතුරෙන් තෙල් හදන විදිහ ගැන රජය විසින් සොයා බැලුවානම් ඉන්ධන ආනයනය සඳහා යන විශාල ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒ වගේම, පොඩ්ඩක් වියදම් කර නිවසකට එක මුද්‍රණ යන්ත්‍රය හා කඩදාසි මිටිය බැගින් බෙදා දී තම තමන්ට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහගන්න ඉඩ දුන්නානම් රටේ හැමෝගෙම ප්‍රාග්ධන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ රටේ හැමෝම ඔය ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඩොලර් රටට ගේන්න පටන් ගන්න නිසා උද්ධමනය වැඩි වී රුපියල් වල වටිනාකමක් නැති වී ගියත් ප්‍රශ්නයක් නැහැ.
අවාසනාවට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ සිද්ධාන්ත පැත්තකට දමා ඒ අයගේ අලුත් සිද්ධාන්ත වලින් විසඳුම් හොයන පිරිසක් බලයට පත් කරගත්තොත් පමණයි. ඒ වගේම, ඩොලර් හොයන්න මේ තරම් අවස්ථා තියෙද්දී රටේ ඉන්න ප්‍රාග්ධනය තිබෙන අය ඒ ගැන උනන්දු නොවීමත් ප්‍රශ්නයක්. අඩු ගානේ මේ විශිෂ්ඨ බුද්ධිමතුන්ට ඒ අයට හෝ තමන්ගේ විසඳුම් පැහැදිලි කර දිය හැකිනම් රටට ඩොලර් ගලාගෙන එයි.
තව මෙහෙම යෝජනාවකුත් කරන්න පුළුවන්. ලංකාවේ රජය සහ මිනිස්සු මේ විසඳුම් ගණන් ගන්නේ නැති එකේ වෙන රටක උපදේශකයෙක් විදිහට හරි මේ යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන ආදායම රටට ගේන්න පුළුවන්නම් ඒ ඩොලර් ටික හරි රටේ සේවා ගිණුමට එකතු වෙයි නේද? තේරුම් ගන්න පුළුවන් පාලකයෝ ලෝකයේ කොහේ හරි ඇතිනේ!
ඉතිරි කොටස ඔය කලින් කියූ විශිෂ්ඨ බුද්ධිමතුන්ට නෙමෙයි. කුමක් හෝ හේතුවක් නිසා අප ලියන දේ කියවන අයගේ පහන් සංවේගය පිණිස.
මේ වන විට රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යමින් සිටින අතර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්ති හරහා ජංගම ගිණුමේද අතිරික්තයක් පවත්වා ගෙන යනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපි පළමුව වසරේ පළමු මාස තුනෙන් පටන් ගනිමු.
ආනයන වියදම – ඩොලර් මිලියන 3,894යි
අපනයන ආදායම – ඩොලර් මිලියන 2,998යි
වෙළඳ ශේෂ හිඟය – ඩොලර් මිලියන 896යි
සේවා ලැබීම් – ඩොලර් මිලියන 1,048යි
සේවා ගෙවීම් – ඩොලර් මිලියන 367යි
සේවා ගිණුමේ අතිරික්තය – ඩොලර් මිලියන 682යි
වෙළඳ ගිණුමේ හා සේවා ගිණුමේ සමස්ත හිඟය – ඩොලර් මිලියන 214යි.
ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය – ඩොලර් මිලියන 486යි
ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ අතිරික්තය – ඩොලර් මිලියන 1,344යි
මේ අනුව, පළමු මාස තුනේදී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 644ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. එයින් අදහස් වන්නේ සියලු ඩොලර් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව රටට පැමිණි ඩොලර් වලින් මිලියන 644ක් ඉතිරි වී ඇති බවයි.
ඉහත ගණනයේදී මූල්‍ය ගිණුම සලකා නැහැ. ඒ කියන්නේ මෙහි රටට ලැබුණු ඩොලර් වලට විදේශ ණය සේ ලැබුණු කිසිදු මුදලක් ඇතුළත් නැහැ. ඒ වගේම, සෘජු විදේශ ආයෝජන සේ ලැබුණු විදේශ විණිමයද ඇතුළත් නැහැ. එහෙත් පරණ ණය වල පොලී ලෙස හා ආයෝජන වල ප්‍රතිලාභ ලෙස රටින් ගෙන ගිය විදේශ විණිමය ඇතුළත්. ප්‍රාථමික ආදායම් ගිණුමේ තිබෙන්නේ එසේ රැගෙන ගිය ප්‍රමාණයයි.
මේ අනුව පැහැදිලි වන පරිදි, ජංගම ගිණුමේ අතිරික්තයක් පවතීනම් රටේ ශුද්ධ බැරකම් අඩු වීමක් සිදු වෙනවා. තේරෙන විදිහට කිවුවොත් විදේශ ණය අඩු වෙනවා. අලුතෙන් ණය ගැනීමක් සිදු වෙන්නේ පරණ ණය වාරික ගෙවීම සඳහා පමණයි.
පළමු මාස හය අවසානයේදී තත්ත්වය පිළිබඳ යම් තොරතුරු ඇතත් එම තොරතුරු සම්පූර්ණ නැහැ. එහෙත් යන දිශාව තේරුම් ගන්න අමාරු නැහැ.
පළමු මාස හය ඇතුළත ආනයන වියදම් ලෙස ඩොලර් මිලියන 8,161ක් යද්දී අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 5,871ක් පමණයි. ඒ අනුව, ඩොලර් මිලියන 2,289ක වෙළඳ ශේෂ හිඟයක් තිබෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබියදී වෙළඳ ගිණුමේ මෙවැනි හිඟයක් තිබීම කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මාස හයක කාලය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති අතර සංචාරක ඉපැයීම් ලෙස තවත් ඩොලර් මිලියන 875ක් ලැබී තිබෙනවා. මාස හයක කාලය තුළ ගෙවුම් ශේෂයෙහි ඩොලර් මිලියන 1,958ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.
මේ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් බව පැහැදිලියි. එහෙත්, මේ තත්ත්වය තිරසාරද?
මේ වන විටද ආනයන පාලන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම, විදේශ ණය අපේක්ෂිත පරිදි ප්‍රතිව්‍යුහගත කළද ඉන් පසුව දැනට නොගෙවන ණය යම් ප්‍රමාණයක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දැනට පවතින සමතුලිතතාව මේ විදිහටම දිගටම පැවතීමේ ඉඩක් නැහැ. එම සමතුලිතතාව කොයි තරම් නරක පැත්තට යා හැකිද?
මේ වන විට, ජූලි මාසයේ නිල සංචිත ප්‍රමාණය ප්‍රකාශයට පත් වී තිබෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,762ක්. පෙර මාසයේ වූ ඩොලර් මිලියන 3,724ට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක සුළු (1%ක වැඩි වීමක්). මෙය ගිණිය හැකි වෙනසක් නෙමෙයි. ඒ අනුව, මාසය තුළ මහ බැංකුව විසින් විදේශ විණිමය වෙළඳපොළ තුල දැනෙන මැදිහත්වීමක් සිදු කර නැහැ. පෙර මාසය තුළ පැවතියේද එවැනිම තත්ත්වයක්.
පසුගිය මාසය තුළ සිදු වූ විශේෂ දෙයක් වූයේ ඩොලර් මිලියන 791.4ක සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමයි. විස්තර ප්‍රසිද්ධ කර නැතත්, මෙම ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වෙනුවට රුපියල් බැඳුම්කර ලබා ගෙන ඇතැයි සිතිය හැකියි. පවතින තත්ත්වයන් තුළ දේශීය ආයෝජකයින්ට වඩා වාසිදායක සේ පෙනෙන්නේ එම විකල්පයයි. මෙහිදී ඔවුන්ට අඩුව පුරවා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී ඩොලරයක මිල මත පීඩනය ඉහළ යනවා. ඊට අමතරව, ඩොලර් මිල දී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය වන නිසා රුපියල් හිඟ වී පොලී අනුපාතික මත පීඩනයද ඉහළ යනවා. කෙසේ වුවත්, දැන් මේ දෙකම සිදු වී අවසානයි.
ඩොලරයක මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මැදිහත් වීමක් කර නැති බව දැන් පෙනෙනවා. යම් තරමකින් ඩොලරයක මිල ඉහළ යාමෙන් පසුව දැන් නැවතත් තරමක් අඩු වී තිබෙනවා. මේ සතියේදී පොලී අනුපාතික තුළින්ද මෙවැනිම නැඹුරුවක් පෙනෙන්නට ඉඩ තිබෙනවා.
කෙසේ වුවත්, ඩොලරයක මිල හා අදාළව තවත් කම්පන කිහිපයක් සිදු විය යුතුයි. පළමුව, වාහන හැර අනෙකුත් ආනයන සඳහා පනවා ඇති සීමාවන් ඉවත් විය යුතුයි. මෙම කම්පනය විශාල කම්පනයක් වේයැයි මා සිතන්නේ නැහැ. දෙවනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව යම් කම්පනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් වාහන ආනයන වලට ඉඩ ලැබෙද්දී තවත් කම්පනයක් ඇති වෙනවා. මේ එක් එක් අවස්ථාවේදී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යා යුතුයි. එය ක්ෂණිකව වඩා වැඩියෙන් ඉහළ ගොස් පසුව තරමක් අඩු වීමක් විය හැකියි. “කීයට විතර යයිද?” වගේ ප්‍රශ්න වලටනම් පිළිතුරු දෙන්න බැහැ. පාවෙන විණිමය ක්‍රමයක මූලධර්මය වන්නේම එසේ විනිමය අනුපාතිකය නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බවයි.
මේ සියල්ල සිදු වීමෙන් පසුව, රජය විසින් අලුතෙන් විදේශ ණය ලබා ගනිමින් බැංකු පද්ධතිය වෙත පොම්ප නොකරන්නේනම්, බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම පහසුවෙන්ම තුලනය වෙනවා. ඒ නිසා, රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය ආපසු ගෙවීම සඳහා රජයට දිගටම විදේශ ණය ගන්න සිදු වෙනවා. එම ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් නැහැ.
බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය වේනම් සීමා කිසිවක් නැතත් අපනයන ඕනෑවට වඩා වැඩි වීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් ඩොලරයක මිල ඉහළ යයි. ඒ තත්ත්වය දිගටම පැවතුනොත් ඩොලරයක මිල දිගටම, ක්‍රමිකව ඉහළ යයි. එවිට රටේ සිටින ව්‍යවසායකයින් ඩොලර් ඉපැයිය හැකි ආකාර ගැන ස්වභාවික ලෙසම උනන්දු වෙයි. කෙටිකාලීනව කෙසේ වෙතත් දිගුකාලීනව මේ සඳහා අවශ්‍ය වන්නේ ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීම පමණයි.
~ ඉකොනොමැට්ටා
RN