*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ජේ. ආර්. පොලීසියට නිවාඩු දුන්නාද ?

ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක “ඇත්ත” වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න.

මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී තිබෙන කතාවක්. මම මේ කතාව හැමදාමත් තේරුම් ගත්තේ හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රමාණවත් තරමින් පියවර නොගත් බව අදහස් කෙරෙන, “මහ බැංකුව කඩා සල්ලි හොරකම් කිරීම” වැනි, වචනාර්ථය අනුව තේරුම් නොගත යුතු ප්‍රකාශයක් ලෙසයි.

දැනටත් මම මේ ගැන හිතන්නේ එවැනි ප්‍රකාශයක් ලෙසයි. ඒ වගේම, මම මෙතෙක් හිතාගෙන හිටියේ අනෙක් අය මේ ප්‍රකාශය තේරුම් ගත්තෙත් වචනාර්ථයෙන් නෙමෙයි කියලයි. නමුත් දැන් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

මට මතක විදිහට මේ කතාව මුලින්ම ලොකුවටම මතු වුනේ අසූ තුනේ ජූලි කලබල වලින් පසුව පැවති තත්ත්වය හා සමාන කෙරෙමිනුයි. ඒ අවස්ථාවේදී සිදු වූ දෙයද යම් ආකාරයකින් පොලීසියට නිවාඩු දීමක් වැනි දෙයක්. නමුත් නිල වශයෙන් පොලීසියට නිවාඩු දීමක් සිදු වුනේ නැහැ.

දැන් මේ කතාව ඉස්සරහට එන්නේ දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවධාරණය කරමින් වුනත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව උතුරේද විශාල ලෙස පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුනා. ඒ වගේම දකුණේ දෙමළ ජාතිකයින්ට එරෙහිව ජාතිවාදී කෝලාහල ඇති වුනා. එය සමාන කළ හැක්කේ බංග්ලාදේශයේ අවාමි ලීගයට එරෙහි ප්‍රචණ්ඩ කියා වලදී හින්දු ආගමිකයින් වැඩිපුර පීඩාවට පත් වීමටයි. මෙසේ කීමෙන් දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවතක්සේරු කිරීමේ අදහසක් නැහැ.

හැත්තෑ හතේ මැතිවරණය පැවැත්වුණේ ජූලි 21. මේ මට මතක තිබෙන පළමු මැතිවරණය. නිදහසින් පසුව දිගින් දිගටම අවුරුදු පහෙන් පහට මැතිවරණ තිබ්බත්, සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1975දී තිබිය යුතු මැතිවරණය පැවැත්වුවේ 1977දී. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදද්දී කොල්වින් වංගුවක් ගහලා අවුරුදු දෙකක් කාලය වැඩි කරගත්තා. ඊට විරුද්ධ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ ධුර වලින් ඉල්ලා අස් වී අතුරු මැතිවරණ වලට මුහුණ දුන්නා.

ලංකාවේ ඊනියා බුද්ධිමතුන්ගේ වාමාංශික මතවාදී ආධිපත්‍යය නිසා මේ වැරදි පූර්වාදර්ශය ගැන කතා කෙරෙන්නේ ඉතා අඩුවෙන්. මීට සාපේක්ෂව බොහෝ විට කතා කෙරෙන දෙයක් වන 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ජේ ආර් විසින් මහමැතිවරණය කල් දැමීම සිදු වුනේ ජනමතවිචාරණයක් තියලා රටේ බහුතරයකගේ කැමැත්ත අරගෙන. ඒ වගේම ජනමතවිචාරණය පරාජය වූ ආසන සඳහා අතුරු මැතිවරණ තිබ්බා.

හැත්තෑ හත දක්වා තිබුණු හැම මැතිවරණයකදීම ආණ්ඩුව මාරු වුනා. ඔය කාලයේ ගොඩක් දේවල් කළේ රජයෙන්. ඒ නිසා, රජයෙන් බාහිර ජීවිතයක් මිනිස්සුන්ට නොතිබුණු තරම්. නමුත් රජයෙන් ගන්න පුළුවන් වරප්‍රසාද බොහෝ විට ලැබුණේ බලයේ සිටි පක්ෂයේ ආධාරකරුවන්ට. රජයේ රැකියා ලැබුණේ මන්ත්‍රී චිට් එකට. කොහොම වුනත්, අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වූ නිසා මේකේ අවාසිය එක කණ්ඩායමකටම පමණක් ගියේ නැහැ.

අවුරුදු පහෙන් තිබිය යුතු මහ මැතිවරණය අවුරුදු දෙකකින් කල් යාම නිසා එජාප ආධාරකරුවෝ හිටියේ ලොකු පීඩනයක. උදාහරණයක් විදිහට 1970දී පමණ පිටවූ ආණ්ඩු පක්ෂයට සහයෝගය නොදැක්වූ පවුල්වල උපාධිධාරීන්ට රජයේ රැකියා ලැබුණේ අවුරුදු හතකට පස්සේ. හැත්තෑ හතේදී ඔය චක්‍රය අනෙක් පැත්තට කැරකුනා. ඔය ක්‍රමය නැති වුනේ අසූව දශකයේ අන්තිම හරියේදී. මතක විදිහට මන්ත්‍රී චීට් ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාසගේ කාලයේදී.

අනෙක් පැත්තෙන් අවුරුදු හතක් එක දිගට බලයේ හිටපු ශ්‍රීලනිපය ආසන අටට වැටුණු එක ආණ්ඩුවේ ආධාරකරුවන්ට විශාල කම්පනයක් වුනා. ඔය තත්ත්වයන් එක්ක සහ ලංකාවේ සමාජය ඒ වන විට තිබුණු තත්ත්වය එක්ක කලින් මැතිවරණ වලින් පසුව සිදු වූ පරිදිම පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්.

ජූලි 21 බ්‍රහස්පතින්දා. මට මතක විදිහට මුල්ම ප්‍රතිඵලය රේඩියෝ එකෙන් කිවුවේ සිකුරාදා පාන්දර. සිකුරාදා දවල් වගේ වෙද්දී ආණ්ඩුව පෙරලෙන බව පැහැදිලියි. ඉතිරි කොටස් ලියන්නේ සොයා ගත හැකි මූලාශ්‍ර මත පදනම්ව.

දැන් මේ මැතිවරණය පවත්වන්නේ බ්‍රහස්පතින්දා දවසක නිසාත්, සිකුරාදා දිනයේත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙන නිසාත්, පාසැල් ආදී ස්ථාන ඡන්ද පොළවල් ලෙස යොදා ගන්නා නිසාත්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් මැතිවරණ රාජකාරි වල යෙදෙන නිසාත්, රජය විසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින රජයේ නිවාඩු දින බව කලින්ම ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ එන්නේ සති අන්තය නිසා එක දිගට දවස් හතරක නිවාඩුවක් වැටෙනවා. ඊට අමතරව ඔය දවස් හතරේම තැබෑරුම් වසා මත්පැන් අලෙවිය තහනම් කරනවා. එහෙම කරන්නේ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්. මොකද 1970 මහ මැතිවරණයෙන් පසුව ඇති වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලිනුත් 17 දෙනෙක් මියගොස් විශාල දේපොළ හානියක් වෙලයි තිබුණේ. ඒ නිදහසේ පටන් ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වය. මේ තත්ත්වය වෙනස් වුනේ හැත්තෑ හතෙන් පස්සේ.

මේ ඇරෙන්න පොලීසියට නිවාඩු දුන් කතාවක් මම දන්නේ නැහැ. ඒ වගේම, රජයේ නිවාඩු දවස් වුනත් පොලීසියට නිවාඩු නෙමෙයි.

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දවස් දෙකේ කලබල කිසිවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පිහිටුවන තුරු සංක්‍රාන්ති කාලයේ අවිනිශ්චිත තත්ත්වයක් තියෙන නිසා කලබල ඇති වෙන්නේ නැහැ. කලබල පටන් ගන්නේ දවස් දෙකකට පස්සේ ජූලි 23 සෙනසුරාදා ජේ ආර් දිවුරුම් දීලා ආණ්ඩුව පිහිටෙවුවට පස්සේ.

ඔය වන විට ඡන්ද රාජකාරි සඳහා රටේ විවිධ ප්‍රදේශ වලට ගිහින් හිටපු පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් නැවත සේවා ස්ථාන වලට වාර්තා කරලා නැහැ. විශේෂයෙන්ම 23 රෑ බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල හා මහනුවර ප්‍රදේශයේ ඉතා කෙටි කාලයක් තුළ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙනවා. පසුව මන්නාරමේත් ගැටුම් ඇති වෙනවා.

ඊට පහුවෙනිදා, ඒ කියන්නේ ජූලි 24 ඉරිදා, රජය විසින් දිස්ත්‍රික්ක අටකට දින දෙකකට ඇඳිරි නීතිය පනවලා ඉතා ඉක්මණින් තත්ත්වය පාලනය කරනවා. අලුතෙන් දිවුරුම් දුන් අගමැති ජේ ආර් ජයවර්ධන ගුවන් විදුලියෙන් ජාතිය අමතා කලබල නවත්වා සාමකාමී වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම, හිටපු අගමැතිනිය විසින්ද එවැනිම ඉල්ලීමක් කරනවා.

නමුත් ඒ වෙද්දීත් දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් මරණ 20ක් වෙලා. තවත් ගොඩක් අයට තුවාළ වෙලා. විශාල දේපොළ හානියක් සිදු වෙලා. ඇඳිරි නීතිය ඉවත් කරන විට ද්විත්ව මිනීමැරුම් දෙකක් ඇතුළුව මරණ 34ක් සිදු වෙලා.

සඳුදා වෙද්දී තත්ත්වය සෑහෙන්න පාලනය වෙලා. ඒ නිසා, කලින් පනවපු ඇඳිරි නීතිය ලිහිල් කරනවා. ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වෙද්දී පොලිස් නිලධාරීන් නැවත සේවයට වාර්තා කරලා.

මීට අමතරව දෙමළ ජාතිකයන්ට එරෙහිව (හා ඇතැම් විට අනෙක් අතට) ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුනා. ඒවා තනිකරම පශ්චාත්-මැතිවරණ ගැටුම්ද නැත්නම් ජාතිවාදී ගැටුම්ද කියලා නිශ්චිතව කියන්න අමාරු ආකාරයක ගැටුම්. මොකද මේ මැතිවරණයේදී උතුරෙන් ජාතික දේශපාලන පක්ෂ හේදිලා ගිහින් එහි දේශපාලන බලය තනිකරම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සතුවීමද සිදු වුනා.

මට මතක විදිහට සහ හොයා ගන්න පුළුවන් තොරතුරු අනුව සිදුවුනේ ඕකයි. ඒ ඇරෙන්න ජේ ආර් පොලිසියට සුමානයක් නිවාඩු දුන්නා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුනත්, නිදහස ලබපු කාලයේ ඉඳන්ම ලංකාවේ තිබුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය හැත්තෑ හතෙන් පස්සේ නැති වුනා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan