මෑතකදී කොළඹ විවෘත කෙරුණු ”සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාවට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාරිකයකු වන රවී විජේරත්න මහතා සහ රෑන්ක් එන්ටටේන්මන්ට් හෝල්ඩිංස් ආයතනය විසින් ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුව පසුගිය අගෝස්තු 05 වනදා පළමුවරට කැඳවන ලදී.
ඒ, කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම්. වයි. එම්. ඉසදීන් මහතා හමුවේ ය.
මෙම කැසිනෝ ශාලාවට අදාළව එළඹුණු ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මෙම නඩුවේ පළමු වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමත්, දෙවැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC සමාගමත් තුන්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටටේන්මන්ට් ලිමිටඩ් නමැති හොංකොං හි ලැයිස්තුගත සමාගමත්, සිව්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් බ්ලූ හෙවන් සර්විසස් පුද්ගලික සමාගමත් නම්කර තිබේ.
මෙම වගඋත්තරකරුවන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවුණු අගතිය සහ ඔවුන් විසින් තොරතුරු සඟවා කටයුතු කිරීම තුළින් තමන්ට සිදුවුණු අගතිය සඳහා රුපියල් බිලියන 15 ක මුදලක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන මෙන් පැමිණිලිකාර රවී විජේරත්න මහතා සහ රෑන්ක් එන්ටටේන්මන්ට් ආයතනය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, මෙම නඩුව පසුගිය 05 වනදා කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා, 2025 නොවැම්බර් 25 වනදාට පෙර මෙහි චෝදනාවන්ට අදාළව සිය පිළිතුරු ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය සිය පැමිණිල්ලෙහි දක්වා ඇත්තේ තමන් 2013 වසරේ සිට සිනමන් ලයිෆ් ඒකාබද්ධ හෝටල් පරිශ්‍රයේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් සමාගම සමග අඛණ්ඩව ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වී සිටි බවත් ඒ සඳහා රෑන්ක් එන්ටටේන්මන්ට් ආයතනය සතු කැසිනෝ බලපත්‍රයක් යොදා ගැනීමට නියමිතව තිබුණු බවත් ය.
මේ සඳහා රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගම 2013 වසරේ සිටම රජයට රුපියල් මිලියන ගණමින් මුදල් ගෙවමින් වෙනම කැසිනෝ බලපත්‍රයක් පවත්වාගෙන ආ බවත් එය කිසිදු ආකාරයකින් භාවිතා නොකර මෙම ව්‍යාපාර කටයුත්ත වෙනුවන්ම වෙන්කර තබාගෙන සිටි බවත් පැමිණිලිකරුවන් සිය පෙත්සමෙන් ප්‍රකාශ කර ඇති අතර සිනමන් ලයිෆ් ඒකාබද්ධ හෝටල් පරිශ්‍රයේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා මෙම කැසිනෝ බලපත්‍රය භාවිතා කිරීමට ජෝන් කීලස් සමාගම ඇතුළු පාර්ශ්වකරුවන් සමග ඇතිකරගත් ගිවිසුම්ගත අවබෝධතාව අනුව රවී විජේරත්න මහතා සහ රෑන්ක් එන්ටටේන්මන්ට් හෝල්ඩිංස් සමාගම ඉහත කී ඒකාබද්ධ හෝටල් පරිශ්‍රයේ කැසිනෝ ශාලාව සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් සහයෝගයෙන් කටයුතු කළ බවත් ය.
පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ප්‍රකාශ කළ ඇත්තේ තමන්ට ශ්‍රී ලංකාවේ කැසිනෝ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති බවත් ඉහත කී ව්‍යාපෘතිය වෙනුවෙන් හෙළිදරව් නොකළ සංවේදී තොරතුරු සහ වාණිජමය සහ පුද්ගලමය වශයෙන් සංවේදී තොරතුරු රැස්කිරීම, සම්පාදනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා සැලකිය යුතු වෙහෙසක් සහ මුදලක් වැය කර ඇති නමුත් මේ වනවිට රෑන්ක් එන්ටටේන්මන්ට් ආයතනයට සිනමන් ලයිෆ් හි කැසිනෝ අවකාශය භාවිතා කිරීමේ අවස්ථාව අහිමි කර ඇති බවත් එයින් මේ වනවිට වෝටර්ෆ්‍රන්ට් ප්‍රොපටීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ඇති බවත් ය.
මේ වනවිට ඉහත කී කැසිනෝ අවකාශය හොංකොං හි ලැයිස්තුගත කැසිනෝ ක්‍රියාකරුවකු වන මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටටේන්මන්ට් සමාගමත් එහි අනුබද්ධ සමාගමක් වන, කැසිනෝ බලපත්‍රයක් ලබාගෙන ඇති බ්ලූ හෙවන් සර්විසස් පුද්ගලික සමාගමත් විසින් භාවිතා කරන බවත් පෙත්සමකරුවන් විසින් සඳහන් කර ඇත.
සිනමන් ලයිෆ් හෝටලයට හෝ ජෝන් කීල්ස් සමාගමට කැසිනෝ කර්මාන්තය හෝ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර පිළිබඳ කිසිදු පූර්ව තොරතුරු හෝ අත්දැකීමක් නොතිබුණු බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංස් මෙහිදී රවී විජේරත්න සහ රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් ලබාදුන් සංවේදී තොරතුරු මත සම්පූර්ණයෙන්ම රඳා පැවතුණු බවත් ය. හෙළිදරව් නොකළ යුතු තොරතුරු නීතිවිරෝධී ලෙස භාවිතා කිරීම සහ හෙළිදරව් කිරීම යනු ශ්‍රී ලංකාවේ නීතිය අනුව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය ක්‍රියමාර්ග ගත හැකි වරදකි.
ඒ අනුව තමන්ට සිදුවුණු හානිය වෙනුවෙන් වගඋත්තකරුවන්ගෙන් රුපියල් බිලියන 15ක වන්දි මුදලක් අයකර දෙන ලෙසයි පෙත්සම්කාර රවී විජේරත්න මහතා සහ රෑන්ක් එන්ටටේන්මන්ට් හෝල්ඩිංස් ආයතනය කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
සබැඳි පුවත් –
