ඒ සද්ධන්තයාගේ ප්‍රතිවිරෝධය ….

වසර මිලියන ගණනක පරිණාමීය උරුමයෙන් රැකගත්, නොදැමෙන, නොසැලෙන, නොබිඳෙන විසල් හදවතක් ලය කුහරයේ දරා ගත් ඒකදන්තයා, මෙරට වීරෝධාර හස්ති සම්පතේ ජීවමාන පුරාවෘත්තයයි. උපන්බිමෙන් පැහැර ගන්නට දැරූ උත්සහයන් ත්‍රිත්වයම පහසුවෙන් බිඳ හෙලූ තනි දළැති දැවැන්තයා මින් පෙර අවස්ථා දෙකකදී ම හොරොව්පතාන මාරක හස්ති වධකාගාරයේ තුඟු පවුරු බිඳ හෙළා, ආරක්ෂිත විදුලි රැහැන් පෙරළා යළි සිය නිජබිම වෙත පැමිණියේ මහ වේවැල්කඩවල වැව, ඇතිනි වැව, මහ කුලුමීවක්කඩ වැව, කහටගස්දිගිලිය පාර, ගල්කඩවල වැව, මහකනදරාව වැව, මිහින්තලය රක්ෂිතය, නාච්චියාදුව, තිරප්පනේ, විජිතපුර, කලා වැව, රැස්වෙහෙර හරහා සියඹලන්ගමුව යන මරු කපොලු පිරි දුර්ග මඟ විකුමැති ව තරණය කරමිනි.

අනවසර මත්පැන් ජාවාරම්කරුවන් ගේ ග්‍රහණයට ලක්ව ඇති ගල්ගමුව මහ වන බිමෙන් ඒකදන්තයා පිටුවහල් කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව ගනු ලැබූ නිහීන උත්සාහය, අගෝස්තු 07 වනදා උදෑසන එහි ප්‍රධාන කාර්යාලය වැටලූ පරිසරවේදීන් ගේ දැඩි විරෝධතා මැද තාවකාලිකව අත් හිටවූ බව දැනගන්නට ලැබීම, මෙරට ජන සමාජයේ ඉතිරිව ඇති අවසාන රොන්සුණු ස්වල්පය කෙරෙහි ප්‍රශංසාත්මක හැඟුම් දල්වයි.

මානව කෲරත්වය විසින් නෙත් අඳ කරවන ලද වියපත් ඇතු, මාදුරුඔය වනෝද්‍යානයට පරිස්ථාපනය කරන්නට ගන්නා ලද අමනෝඥ තීන්දුව මඟින් මරණයේ මුවවිටටම ගෙනගිය අතර, කිසිදා යටත් නොවන අභීත හස්තියා කිලෝමීටර් පන්සියයකට අධික දුර යළි ආපසු පැමිණෙන ගමන ඛේදාන්තයකින් කෙළවර වීම නොවැළැක්විය හැකිව තිබිණි.

මෑත කාලීනව චණ්ඩි යයි නම් ලදමුත්, ගල්ලෙන බිඳි අයෝමය වන හස්තියා දූෂිත මානව සංහතියටම දක්වන තෙද බලැති ප්‍රතිරෝධය එබඳු සිල්ලර ඇමතුමකින් ලඝු කළ නොහැක්කකි. රැගෙන යා නොහැකි නම් ඝාතනයෙන් නිහඬ කෙරෙන බවට වූ බියගුළු මැර තර්ජනයන් මැද මේ මොහොතේත් ඉරි තැලී ගිය වැව් තාවුල්ලක, වියළි තණපත් බුදින වයෝවෘද්ධ ඇතුගේ අඳව ගිය දෑස් මත ආදරයේ තෙත බරැති හාදුව තවරමි.
මරණය සම්මුඛව වුවත් නිදහස පාවා නොදුන් සදාතනික වීරත්වය වෙනුවෙනි. ගල්ගමුව ඒකදන්තයා වෙනුවෙන් නැගී සිටි හඳුනන, නාඳුනන සියළු හදවත් වෙනුවෙනි..

~ හිරාන් ද සේරම්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...