ගිලීමලෙත් ඇත ටයිකොණ්ඩෝ

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 13, (LNW) කොළඹ :

ගිලීමලේ දත සුද්දන් ගැන අපි අසා ඇත්තෙමු.මේ ගිලීමලේ ටයිකොණ්ඩෝ ගැන රටේම අවධානය ඇඳ ගත්තු පුංචි පුතෙකු ගැනය.ඔහු නමින් තිහංස නිල්නෙතුය.ගිලීමලේට ආසන්න තැන්නහේන වෙසෙන නිල්නෙතු,ඉගෙනුම ලබන්නේ රත්නපුර ශ්‍රී සුමන විද්‍යාලයේ තුන්වන වසරේ ය.තවමත් අට හැවිරිදි නිල්නෙතු ටයාකොණ්ඩෝ ක්‍රීඩාවේදී නම් ලොක්කෙක්ය


නිල්නෙතු ලාබාලතම ටයිකොණ්ඩෝ කළුපටිධාරියාය.ඔහුගේ පුහුණුකරු රසික ධර්මප්‍රිය ශ්‍රී සුමන විද්‍යාලයේ පමණක් නොව රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ද ටයිකොණ්ඩෝ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.එසේම ශ්‍රී සුමනේ හමුවට අමතරව රසික මෙන්ම නිල්නෙතු ද ගිලීමලේ ප්‍රදේශයේම වෙසෙන බැවින් ගිලීමලේ ටයිකොන්ඩෝ ඇකඩමියේ ආශිර්වාදය නිල්නෙතුගේ මේ දස්කම්වලට විශාල වශයෙන් හේතු වන්නේය.


නිල්නෙතුට ඇත්තේ එකම අක්කෙකි. ඈ නෙත්මි මහිංසා ය.අම්මා දීපානිය.ඇය ගිලීමලේ ප්‍රාදේශිය රෝහලේම සෞඛ්‍ය කාර්ය සහයක ලෙස සේවයේ යෙදෙන්නීය.පියා සුරේෂ් රුවන් මාරපන රජනා රිසෝර්ට් හී පිහිණුම් තටාග භාරකරු ය.එහෙත් මේ වන විට නිල්නෙතු රටම එක් ව නෙතු සේ රැකගත යුතු වර්ගයට අයත් දරුවෙක් බව සනාත කරමින් සිටින්නේය.


තැන්නහේනේ සිට ගිලීමලේ පසු කරන තෙක්ම විශාල මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බව අපි දනිමු.ඔවුන් වඩාත් සංවිධානාත්මකව පොකුරු ගැසුණොත් නිල්නෙතුගේ වටිනාකම කපා ඔප මට්ටම් කර ගත හැකි බව අපේ විශ්වාසය ය.

මෙවැනි වටිනාකම් තිබෙන මට්ටමෙන් තබා ගැනීම අසීරුය.ඒවා කැපී ඔප මට්ටම් විය යුතුය.ඒවාට මිනිස්සු එකතු විය යුත්තේ පාට පක්ෂ කුල සියල්ල පසෙකලාය.

සියල්ල එක්ව රටට දුන් දේශපාලන දායාද ඉතුරු කර ඇත්තේ රටක් වටිනා මිනිස්සු,මිනිස්සුම එක් වී රැක ගත යුතු තත්ත්වයක්ය.රටක් හැටියට ඒ වෙනුවෙන් සැළසුම් සහගත වැඩක් නොකෙරෙන රටක පුරවැසියන් ලෙස මෙවැනි වටිනා මිණි මතුව සැඟව යන්නට නොදී රට වෙනුවෙන් රැක ගන්නට එකතු විය හැකිනම් එය අපූරු ජාතික යුතුකමකි.


තනි තනිව නොව,එකාවන්ව සියල්ල එකතු වූ තැන නිල්නෙතුලා, ලෝකයේම නෙතු යොමු කළ හැකි තත්ත්වයට පත් කළ හැකිය.උත්සාහ කර බලන්න.එය අපූරු ආස්වාදයක් දෙන මනුස්සකමක් සේ ජීවිත කාලය පුරාම ඔබව තබනු ඇත.