Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

තමාට වරදක් කළ කිසිවෙක් ආගමට අමතක නොවන අතර එය කිසිදා සමාව නොදෙනු ඇත

ඉරානයට පක්ෂපාතී ඉස්ලාමිය මත දරන්නෙක් විසින් මතභේදාත්මක ලේඛක සල්මන් රුෂ්ඩිට මරණීය තුවාල සිදුකිරීම සම්බන්දයෙන් ලෝකයේ නිදහස් ලේඛකයින් මේ වනවිටත් තම විරෝධය සහ කනස්සල්ල පළකර තිබෙනවා. අදාළ මාරාන්තික සිද්ධිය තුලදී දෙවරක් පිහිඇනුම් තුවාල ලැබූ රුෂ්ඩි මේ වනවිට දැඩි සත්කාර යටතේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ එක් ඇසක් සදහටම අන්ධ විය හැකි බව සහ යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බව ප්‍රකාශ කරන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හැත්තෑ පස් (75) හැවිරිදි මේ ලේඛකයාගේ සෞඛ්‍ය තත්වය තවමත් අඩමාන තත්වයේ පවතින බවයි. මේ වනවිටත් ඔහු හුස්ම ගන්නේ ස්වසන ආධාරකවල සහයෙන්.

සාතන්ගේ කවි (The Satanic Verses) නම් අතිශය මතභේදාමක කෘතිය (1988) ලිවිම නිසා එවකට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමෙයිණි විසින් මරණීය දණ්ඩනය (ෆත්වා) පමුණුවනු ලැබූ රුෂ්ඩි එතැන් පටන් ගතකලේ අතිශය රහසිගත ජීවිතයක්. එසේ සිටිමින් ම ඔහු තවත් කෘති කිහිපයක් ගෝලීය පාඨක ප්‍රජාවට දායාද කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍ය ශානරයට (Commonwealth Literature) වැටෙන ඔහුගේ කෘති පශ්චාත් යටත්විජිත හැඩහුරුකමක් ගන්නවා (Post-colonial).

ඔහුගේ සියළුම කෘති ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇති රුෂ්ඩි අනුදත් ලේඛන ශෛලිය වන්නේ මැජික් යථාර්ථවාදයයි. යටත්විජිත ලෝකයක අප විඳින (විඳවන) කටුකත්වයේ සංකීර්ණ බව ග්‍රහණය කිරීම පුළුල් පරාසයක හසුරුවා ගැනීම වෙනුවෙන් ඔහු විශ්වාසය තබන්නේ අධි-යථාර්තය කෙරෙහි වීම වැදගත් රුෂ්ඩියානු ලක්ෂණයක්. එසේම ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු අපගේ දුක්ඛිත බව නැවත යුරෝපීය ස්වාමියා වෙත ප්‍රක්ෂේපනය කිරීමත් සැළකිල්ලට ලක්විය යුතු ආඛ්‍යාන විදියක් (writing back to the Empire).

විජිතකරණ ව්‍යාපෘතිය තුල බලය පවත්වාගෙන යාම වෙනුවෙන් සහ නව අධිරාජ්‍යයන් ගොඩ නැගීම වෙනුවෙන් යටත්විජිත ස්වාමියා විසින් අනුදත් නීති රීති තුළ අතිශයින් විවිධත්වයකින් යුතුව විජිතකරණ ක්‍රියාවලිය දක්වා පැවතුන ජාතීන් විජිතකරණයෙන් පසුව බරපතල ආර්ථික සහ සංස්කෘතික පරායත්ත බවක් දක්වා ගමන් කලේ කෙසේද යන්න ඔහුගේ කෘතිවල මූලික තේමාවක් වනවා.

විජිතකරණයේ අධිපති බලපෑමෙන් මිදීම සඳහා පශ්චාත් යටත්විජිත ජාතීන් ක්‍රියාත්මක කල ‘නිර්-යටත්විජිත’ (de-colonization) ක්‍රියාවලිය පවා නැවත විජිතකරණයේ ම අවිඥාණික කැඩපතක් බව රුෂ්ඩි විශ්වාස කළා. එයින් පවා සිදුවුයේ තව තවත් අප ස්වාමියා මත පරායත්ත වීම සහ අධිරාජ්‍යයට නැවත ලිවිම බව ඔහු නිරීක්ෂණය කරනවා.

මේ පරායත්ත බව දෙස පමණක් බැලුවත් අප කේන්ද්‍රයට ලංවනවා වෙනුවට සිදුව ඇත්තේ කේන්ද්‍රයෙන් පරිධිය වඩාත් ඈත්වීමයි. වඩාත් භයානක දෙය ලෙස හොමි කේ. භාභා (Homi K. Bhabha) දකින්නේ අපේ යථාර්තයන් සහ අඛ්‍යාන සියල්ල විමුක්තිය පාදක කරගත් සුවිශේෂ ස්වාධීන සාහිත්‍ය ශානරයක් වනවාට වඩා අධිපති ඉංග්‍රීසි සංස්කෘතික සහ සාහිත්‍ය ශානරවලට තවත් එක් උප ශානරයක් ලෙස උරාගැනීම බවයි. මෙය රුෂ්ඩි සම්බන්දයෙන් ගත්තද ඉවත දැමිය හැකි තර්කයන් නොවෙයි.

රුෂ්ඩි විසින් පවා ලියන ලද සියල්ල අවසානයේ ඇකඩමික පාඨ ග්‍රන්ථ බවට පෙරළීමත්, කියවා පැත්තක තබන සාලයේ පොත් රාක්කයක අර්චන වස්තු බවට පත්වීමත්, අධිරාජ්‍යය වෙත නැවත ලියන සියල්ලටම කිසිම පිළිතුරක් ස්වාමියා ලබා නොදීමත් තුළ සියලු පශ්චාත් යටත්විජිත කෘති ‘පාර-නිශ්ශබ්ද පථිත’ ලෙස පමණක් ගෝලීය වෙළඳපළ තුල පවතිනු ඇති.

මේ සියල්ල න්‍යායිකව විසඳා ගත යුතු බව ඇත්තක් වුවද ඒ කිසිවකින් රුෂ්ඩි නම් ලේඛකයා සතු භාෂණයේ අයිතිය අහිමිකිරීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. විශේෂයෙන් ඉදිරියේදී පවා ඔහුගේ නිර්මාණ රැසක් බලාපොරොත්තු විය හැකි වෙලාවක මෙසේ සිදුවීම යටත්විජිත ලෝකයට කිසිසේත් අපේක්ෂා කළ හැකි දෙයක් ද නොවෙයි.

රුෂ්ඩිට මුහුණදීමට සිදුවූ මේ මරණීය ප්‍රහාරය ගැන සටහනක් තබන ආන්දෝලනාත්මක ප්‍රංශ චාලි හෙබ්දූ (Charlie Hebdo) සඟරාව කියා සිටින්නේ ‘ආගම කිසිදා තමන්ට වරදක් කළ කෙනෙක් අමතක නොකරන බවත් එවැන්නෙකුට කිසිදා ආගම සමාව නොදෙන බවත් ය’. සාතන්ගේ කවි ලියා වසර හතළිහකට පසුත් එම ප්‍රකාශය රුෂ්ඩි සම්බන්දයෙන් සත්‍යයැයි සිතේ.

ඔබගේ බොහෝ පොත පත එක හුස්මට කියවූ කෙනෙක් ලෙස මට මේ සිදුවීම මහත් කම්පනයක් විය. ආදරණීය ලේඛකයෙක් වූ රුෂ්ඩි ඔබට ඉක්මන් සුවය පතමි.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.