*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මේ පොළොවේ ආදරය කියල දෙයකුත් තිබ්බ කියල නාමල් උඩුගම සලකුණු කළා ….

අපේ රටින් අවස්ථා ගණනාවකදී මිනිස්සු තොග පිටින් පිටවෙලා ගිහින් තියනවා. ප්‍රචණ්ඩත්වය, වාර්ගික අර්බුද, භාෂා ප්‍රශ්න සහ ඊට සමානවම ආර්ථික ප්‍රශ්න නිසාත් මේ රට දාල යන්න එයාලට හේතු උණා.

මින් සමහරක් පිටවයාම් (exodus) සදාකාලික උණා. ඒ කියන්නේ ගිය අය ආයේ ආවේ නැහැ (දෙමළ, වතු දෙමළ සහ බර්ගර් ජන කොටස්). තවත් අය යම් කාලෙකට පස්සේ ආව (ආර්ථික හේතු නිසා ගිය අය). සරණාගත පසුබිමින් ගිය අය නම් ආවේම නැති ගණන්.

ඔය ”මිල්ලේ සොයා” වගේ චිත්‍රපටියක පේන්න තියෙන්නේ ගියා වගේම ආපහු ආපු කොටස් ගැන. මම හිතන්නේ මේ යන-එන පිරිස්වල තියන සමාජ ආතතිය අර සදාකාලික ලෙස පිටමං වෙච්චි අයට වඩා වැඩි කමක් දකින්න පුළුවන්.

අසූව දශකය අග සහ අනූව මුල ආර්ථික හේතු නිසා මේ රටෙන් ගොඩක් පිටව යනවා අපි දැක්ක. දැනුත් ඒකම දකින්න පුළුවන්. හැබැයි දැන් තියන තාක්ෂනය එක්ක ඒ පිටව යාම ඇත්තටම පිටව යාමක් ම නෙවෙයි කියල කියන්න පුළුවන්.

ඒ කාලේ ගියොත් ගියාමයි. ආයේ ඉතින් ඔය අමාරුවෙන් දෙන දුරකථන ඇමතුමක්, ලියුමක්, ටෙලිග්‍රෑම් එකක් නැත්නම් වෙනත් කෙනෙක් අතේ එවන පණිවිඩයක් වගේ ඇරෙන්න වෙන හාවක් හූවක් නැහැ. නමුත් අද එළියට යන්න බැහැපු වෙලාවේ ඉඳල කට්ටිය යන්නේ වීඩියෝ කෝල් එකක. ඒ නිසා ඇත්තම වෙන්වීමක් සලකුණු කරන්න බැහැ.

මෙන්න මේ 80 සහ 90 මුල තිබ්බ ගියොත් ගියාමයි පසුබිම එක්ක තමයි නාමල් උඩුගමගේ සින්දු ජනප්‍රිය උණේ. විශේෂයෙන් 1978 ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ ආපු විදෙස් රැකියා සන්දර්භය සහ සංක්‍රමණය මේ උඩුගමගේ වියෝ ගී වලට පසුබිමක් නිර්මාණය කළා.

ගමෙන් නගරයට එන එක වගේම මේ රටෙන් තවත් රටක් කරා යන එකත් උඩුගමගේ ශ්‍රාවක තීරය වෙන්න ඇති. මම හිතන්නේ ලංකාවේ ගායකයෙක් ලංකාවේ 80න් පස්සේ සංක්‍රමණීය තාරුණ්‍යයට එච්චර තදින් කා වැදිච්ච අවස්ථාවක් වෙන නැතුව ඇති.

සංසාර මාවතේ හමුවෙන්නයි, අප හමුවීම වෙන්වීම, මේ මල් පාර දිගේ, සමුගන්නේ නෑ -වෙන්වන්නේ නෑ, රෑ සිහිනේ, මා මුව අගින්, සිහිනෙන් සිහිනෙන්, වෙස්සන්තර බිසෝ, සිතගාව හදපෑව වගේ සිංදු නිකම් වෙන්වීමේ කීරි ගැහෙන අත්දැකීමක් අරන් ආව. විශේෂයෙන් අපේ පංතිවල යම් ප්‍රමාණයක් අම්මල හෝ තාත්තල හිටියේ මැද පෙරදිග වීම, වගේම ඕ ලෙවල් හරි ඒ ලෙවල් වලින් හරි පස්සේ අපේ සගයොත් හිටියේ රට යන වගේ හීනයක හින්ද මේ ”උඩුගමයානු වෙන්වීමේ ආතතිය” සහ උච්චාරණය අපේ පරිකල්පනයට අමුතු හැඟීමක් අරන් ආව.

ආදර ෆැන්ටසි කැඩිලා තිබ්බේ නැතත් නිකම් කැඩුන හෝ කඩාගෙන බලන්න ඕනි වගේ හැඟීමකින් අපි හිටියා මට මතකයි. ඒවා එක අතකට ජනප්‍රිය සංස්කෘතියේ ලෙඩ. මේනියා.

ඒ කාලේ සංගීතයක් කියන්නේ අනිවා නාමල් උඩුගම ඉන්නවා. අර බ්‍රිතාන්‍යයේ බීටල්මේනියා (Beatlemenia) වගේම නැති උනත් නාමල් හින්ද අපේ පරම්පරාවේ කෙල්ලෝ ඇඬුව. ඇත්තටම වෙන්වුන ගැහැණු මිනිස්සු උඩුගමගේ සින්දු අහල සුවපත් උණා. ආදරය කියල මොකක් හරි එකක් තියනවා කියල හිත හදාගත්ත.

නාමල්ට කෙල්ලෝ පිස්සුම පිස්සු ම වැටිලා හිටපු වෙලාවක නාමල් ගයනවා, ”සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ” කියල. ආත්මීය වශයෙන් කිව්වොත් ඒ තමයි මට අනුව ලංකාවේ ජනප්‍රිය සංගීතය ආදරය වෙනුවෙන් කරපු උත්කෘඨම කාන්ටියානු ප්‍රකාශය (the highest Kantian statement of love). ඒක නිසාම කෙල්ලෝ වැඩියෙන් නාමල්ට ආදරය කළා.

”මා තනිවී නැහැ ලෝකේ – මට ද කුමරියක් ඇතේ” කියල නාමල් කියන්නේ උන්ගේ ෆැන්ටසි කුඩු වෙන්න. නමුත් අද ලෝකේ ගායක ගායිකාවෝ ඉන්නේ සදාකාලික තනිකඩයෝ විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ගන්න. එහෙම ලෝකෙක නාමල් ම ලියන ඒ සිංදුව පට්ට.

හමුවීම, වෙන්වීම, සංසාර, ආදරය, සිහින, අහස, සඳ, තරු, ලංවෙන්න, වෙන්වෙන්න, සිත, දුර, ඈත, මුව, නෙතු, හැඟුම් වගේ ගණන් කරන්න පුළුවන් වචන ටිකක් එහාට මෙහාට කරලා අන්තිම සරල පදමාලාවක් (අර්ථයක් නැති තරම් සරල) ලංකාවේ හිට් කරන්න පුළුවන් සාස්තරේ දැනගන්න වෙන්නේ උඩුගමගෙන් විතරයි.

නිදහසින් පස්සේ හැම දශකයකටම වරක් දෙවරක් මහා පරිමාණ මිනිස් නික්මයාම් බහුල වෙච්ච වෙලාවක මේ භූමියේ ඒ ඔක්කොම ලේ කඳුළු අස්සේ ආදරය කියල දෙයකුත් තිබ්බ කියල නාමල් ගයලා තියනවා.

ඒ නිසා මේක විචාරයක් නෙවෙයි. අපේ පරම්පරාවේ තවත් එක ප්‍රපංචයක් මගේ පිටුවේ සලකුණු කිරීමක් විතරයි.

ආදරය ගැන ගායනා කරපු එකම කෙනා කියල නෙවෙයි මේ කියන්නේ.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan