පේනවා එක දිගට රූ රාමු නොනැවතී ….

Date:

මතක මී දුමාරේ තැනින් තැන තුනී වී තණ මල්, බොරලු, කුඩා කෘමි සතුන් දක්වා නැවත ඝන වෙයි. ඒකඝන යයි කියා කියූ කඳු මත පවා මල් පිපෙයි, සුවඳ දිය වෙයි, වැසි හැලෙයි, මී දුමෙන් වැසී නොපෙනී යයි.

අවිඥානය මතට කුඩා ගල් කැට, බොරලු කැට වැටී අමතක මතක ධූලි ඇවිස්සී කිවිසුම් යයි. ඇසට කඳුළු බිඳු උනයි. එම මතක මතකම දැයි මට තිරව කිව නොහැකිය.

මිතුරෙකු හා ගොස්, ගාල්ලේ කොනක සිංහරාජ කැලේ මුල්ලක දොළක දිය සෙවල බැඳුණු ගල් පොත්තක රූටා කකුල් ලෙලි ගොස් සීතල දියේ පා ඔබා හිඳිද්දී ආ ඒ නම් කළ නොහැකි සිතුවිල්ල. ලේ ඒ සීතල දියේ ලා වී තනුක වී නොපෙනී ගිය හැටි. වේදනා නගද්දී පා, මා වටා කුඩා සමනල්ලු නැටු හැටි.

උදා හිරු නැගෙද්දී කුඩා කුඹි රැළක් , පළගැටි, සමනල පිහාටු ඔසවා තෙත සෙවල ගස් කදක් දිගේ අහසටම ගිය හැටි . ඒ උදා ඉර කිරණ පියාඹන සමනලුන් මැවූ හැටි.

තෙත රබර් හේඩාවක , තද කොළ අඳුරු හෙවනේ යම් උගුලක හසුව බියෙන් හා ආසාවෙන් කෙඳිරිලි නැඟූ හැටි. නිදිකුම්බා කටු මගේ අඳුරු තෙත් සම මත යම් විසිතුරු මැහුම් රටාවක් සේ ලේ බිඳු නැඟූ හැටි. යම් නොදන්නා අයෙක් බලා ඉන්නවා යයි සිතා වැටි වැටී දිවූ හැටි.

තාත්තා ස්වකැමැත්තෙන් දිවිය අත්හළ පසු, අත ඇරුණු මල් පිඟානක් සේ කැබලිව විසිරී නොදන්නා අහුමුළු වලත් මා ඔහේ පැතිරී ගිය හැටි.

යුරෝපා අහස යට දරන්නට අපහසු තද හිම සීතලේ, ගෙදර පොඩි මල් පැල මතක් කර හැඬූ හැටි. ආයෙමත් පියාඹා පරණ ඒ අඳුරු ගුලටම සර්පයෙකු සේ රිංගා දරණ ලා ගත් හැටි.

බිඳුණු පසු හිත ඒ කුඩා කැබිලිති අහුලා , ගම් ගගා අලවා ආයෙම තැනූ හැටි.

මා නැමති කොදෙව්වේ කුඩා මල් පුබුදුවා, ප්‍රදීපාගාරයක් අටවා ආලෝක තිතකින් අතරමං නැවියන් දෙතුන් දෙනෙකුට දන්නා ඒ පාර පෙන්නා ඈත් වූ හැටි.

වනගත මඟක , යම් යම් හවස් වරුවල තනිවම ඇවිදිමින් අතරමං වෙන්නට හැදූ හැටි. ඒ හැම වතාවෙම යම් කුඩා එළි තිතක් ඈතක දැක්වෙමින් ගෙට එන්න පාර පෙන්නු හැටි.

තණ පලස මත නිදා හිඳිද්දී අනන්තාකාසයේ සුදු වළාකුළු රැන් කලබලේ ගලනවා, හවස ඒ සුද ම ලේ පාට වී නැවත දිය වෙලා රැයට ඉඩ හරිනවා. රෑ අඳුරේ රැහි ගී ඇහෙද්දි කිරි සයුරේ තාරකා රැළි සුළි මැවෙනවා මැකෙනවා බැලූ හැට්.

මැරෙන්නට හිතුනාම ආයෙමත් ජිවිතේ කොහොම හරි පිනලා ගොඩවැදී තොටුපොල ක කොහෝ හෝ , තුරුල්ලක. කාගේ හෝ ටිකක් හති ඇර ආයේ තාම මං මේ මෙහෙම පීනලා ගඟ දිගේ නොදන්නා මුහුදකට යමින් ඉන්නා හැටි.

පේනවා එක දිගට රූ රාමු නොනැවතී , හිතින් මං බොහෝ දේ මකනවා හදනවා, ඒ වුණත් තවත් රෑ කුරුල්ලෙක් කොහේදෝ හැංගිලා මගේ සිනීමාව මත සිය ගීය පසුබිමින් ගායනවා.

~ ඉසුරු චාමර සෝමවීර

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...