මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

Date:

කාදිනල්තුමාගේ අසත්‍ය LGBTQ+ ප්‍රකාශ සමාජ සදාචාරත්වයට තර්ජනයක් ද?

ඕවින්දි විෂ්මිකා

අගෝස්තු 15, කොළඹ (LNW): කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත වරක් ලිංගිකත්වය සහ සමාජභාවී සුළුතරයන් කෙරෙහි මතවාද ඉදිරිපත් කර ඇත – මෙවර චෝදනා කරන්නේ විදේශ අරමුදල් ලබනා ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවේ “සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන” බවත්, “බාල වයස්කරුවන් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට” ඉඩ සලසන බවත්, සමලිංගික ප්‍රජාවන්ට සහ එම සංගම්වලට හිතකර ලෙස විවාහ නීති සංශෝධනය කිරීමට උත්සාහ කරන බවත්ය.

මෙම ප්‍රකාශයන් ඇත්ත වශයෙන්ම සාවද්‍ය සහ නීත්‍යානුකූලව පදනම් විරහිත ප්‍රකාශයන් පමණක් නොව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල තවමත් නොනැසී පවතින තුවාල මෙන්ම ශ්‍රී ලංකාව දැනටමත් බැට කන ආර්ථික බිඳවැටීම, දේශපාලන අස්ථාවරත්වය, සමාජ නොසන්සුන්තාව සහ නොවිසඳුණු ආගමික ආතතීන් ඇතුළු ගැඹුරු අර්බුද නොසලකා හැරීමක් වේ. ජාතික නායකත්වය, සදාචාරාත්මක විනිවිදභාවය සහ එකමුතුකම අවශ්‍යතාවයක් ඇති මෙවැනි අවස්ථාවක සමාජයේ අවදානමට ලක්විය හැකි සුළුතරයකට අපහාස කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙහි කාදිනල්තුමාගේ තේරීම ප්‍රමුඛතා සහ වගකීම පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

අසත්‍ය සහ වැරදි නිරූපණ

පළමුව, ශ්‍රී ලංකාවේ LGBTQ+ ක්‍රියාකාරීහු විවාහ සමානාත්මතාවය ඉල්ලා නොසිටිති. ඔවුන්ගේ මූලික නීතිමය ඉල්ලීම වන්නේ යටත් විජිත යුගයේ පැවති දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති අවලංගු කිරීම හරහා සාක්ෂාත් කරගත් වැඩිහිටියන් අතර සම්මුතිවාදී සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට ප්‍රකාශ කිරීමයි. මෙය අනුමානයක් නොවන අතර මෙම ස්ථාවරය දශක ගණනාවක් තිස්සේ පුරා අඛණ්ඩව පවතින අතර මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ තීරණය අංක 13/2023 මගින් සනාථ කරන ලදී. එහි සඳහන් වූයේ එය අපරාධයක් නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්පූර්ණයෙන්ම අනුකූල වන අතර ජාතික ආරක්ෂාවට, මහජන සදාචාරයට හෝ සමාජ පිළිවෙලට තර්ජනයක් නොවන බවත් ය.

දෙවනුව, බාලවයස්කරුවන් සමාජභාවය හඳුනාගැනීමේ සහතික (GRC) ක්‍රියාවලිය යටතේ නීතිමය වශයෙන් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සඳහා සුදුසුකම් නොලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 01-34/2016 සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගේ චක්‍රලේඛ අංක 06/2016 හරහා ස්ථාපිත කරන ලද මෙම GRC ක්‍රියාවලිය අදාළ වන්නේ බලපත්‍රලාභී උපදේශක මනෝචිකිත්සකයෙකුගේ තක්සේරුව ලැබූ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින්ට පමණි. ඒ අනුව ඒ සදහා ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන අතර නීතිමය ලියකියවිලි ස්ත්‍රී පුරුෂ භාවය සමඟ පෙළගැස්වීමේ පරිපාලන ක්‍රියා පටිපාටියක් පමණක් සිදු වේ. ඇතමුන් මතවාද දරනා ආකාරයට එය “ළමා ලිංගය වෙනස් කිරීමේ වැඩසටහනක්” නොවේ.

හුදෙක් මෙම කරුණු සාවද්‍ය ලෙස නිරූපණය කිරීමෙන් කාදිනල්තුමාගේ මතවාද මහජනයා වරදවා වටහා ගැනීමට සහ සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය කිරීමට හේතු වන අතර දැනුවත් ප්‍රතිපත්ති විවාදයන්ට වල කපයි.

නීතිමය නොගැලපීම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් “සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත” යන්න සහතික කෙරේ. 12(2) වගන්තිය අත්තනෝමතික හේතු මත වෙනස්කම් කිරීම තහනම් කරයි. ලිංගික දිශානතිය පැහැදිලිව ලැයිස්තුගත කර නොමැති වුවද 2007 අංක 56 දරන ICCPR පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සුළු ජාතීන්ට මෙම ආරක්ෂණ දීර්ඝ කරයි.

තවද වැඩිහිටියන් අතර එකඟතාවයෙන් යුත් සමලිංගික සමීපත්වය ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කර ඇති බවත් සදාචාරාත්මක පරිහානිය හෝ දරුවන්ට ඇති තර්ජන පිළිබඳ අනුමාන ප්‍රකාශ “මනඃකල්පිත” සහ “පැහැදිලි ලෙසම අසත්‍ය” බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කර ඇත. ඒ අනුව LGBTQ+ පුරවැසියන් සමාජ අනතුරක් ලෙස නිරූපණය කරන ප්‍රසිද්ධ ප්‍රකාශ විශේෂයෙන්ම සමාජයේ තීරණයන්ට බලපෑමක් ඇතිකිරීමට හැකියාවක් ඇති පුද්ගලයින්ගේ මෙම ප්‍රකාශ නීතින්ට පටහැනි වන අතර පොදු හා පුද්ගලික ක්ෂේත්‍ර දෙකේම විෂමතා උත්තේජනය කිරීමෙහිලා ද අවදානමක් ඇති කරයි.

අස්ථාවර පරිසරයක ව්‍යාජ හා අනතුරුදායක ප්‍රකාශයන්

අන්තර්ජාතික මානව හිමිකම් නීති,විශේෂයෙන්ම ICCPR පනතේ 3 වන වගන්තිය මගින් විෂමතා, වෛරය හෝ ප්‍රචණ්ඩත්වයට කැඳවිය හැකි ප්‍රචාරණයන් තහනම් කර ඇත. නමුත් මෑත මාස කිහිපය තුළ, “මව්වරුන්ගේ පෙරමුණ” වැනි අන්තවාදී කණ්ඩායම් විසින් LGBTQ+ සමාජය ඉලක්ක කර ගත් විරෝධි ප්‍රචාරණ ව්‍යාපාර සිදු කර ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම් පාසල්වල අපහාසාත්මක ද්‍රව්‍ය බෙදා හැර ඇති අතර LGBTQ+ අනන්‍යතා ළමා ලිංගිකත්වය සමඟ සමාන කර ඇත.විශේෂයෙන්, මෙවැනි ක්‍රියාකාරකම් අධ්‍යාපන විධිවිධාන හා ළමා ආරක්ෂණ නීතිවලටද විරුද්ධ වන බව හෙළිදරව් කර ඇත.

එලෙස ආගමික නායකයින් මෙම කණ්ඩායම් විසින් ප්‍රවර්ධනය කරන ලද තේමාවන් ප්‍රතිරාවය කරන විට LGBTQ+ පැවැත්ම “සාමාන්‍ය ජීවිතයට තර්ජනයක්” ලෙස රාමු කිරීම වැනි අන්තවාදී මතවාද නීත්‍යානුකූල කිරීමට සහ නීති විරෝධී වෛරී ව්‍යාපාර සඳහා සදාචාරාත්මක ආවරණයක් ලබා දීමට අවදානමක් ඇත.

ලංකාවේ සැබෑ අර්බුද නොසලකා හැරීම

කාදිනල්තුමාගේ ප්‍රකාශවල වඩාත්ම අපහසු කරුණු ලෙස සැලකිය යුතුම පැත්ත වන්නේ ඒවායේ කාලය සහ අවධානයයි.මන්ද ශ්‍රී ලංකාව මේ වන විට දැඩි සහ ගැඹුරු ප්‍රතිවිපාක සහිත අභියෝගවල සුසංයෝගයකට මුහුණ දී සිටී: මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දැමූ දැඩි ආර්ථික දුෂ්කරතා; පාලනය කෙරෙහි මහජන විශ්වාසය ඛාදනය කර ඇති දේශපාලන අස්ථාවරත්වය; සැලකිලිමත් සහ ඒකාබද්ධ නායකත්වයක් අවශ්‍ය වන අන්තර්-ආගමික සහ වාර්ගික ආතතීන් උත්සන්න වීම සහ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා නොවිසඳුනු යුක්තිය – එනම් කාදිනල්තුමාගේම සදාචාරාත්මක හා දේවගැති වගකීම තුළ සෘජුවම පවතින කුරිරු ක්‍රියාවකි.

එහෙත් පාස්කු වින්දිතයින්ට යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම දරිද්‍රතාවය තුරන් කිරීම හෝ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සදහා ඔහුගේ සැලකිය යුතු අවධානය යොමු කරනවා වෙනුවට කාදිනල්තුමා අවධානය යොමු කර ඇත්තේ LGBTQ+ පුරවැසියන්ට අපහාස කිරීම කෙරෙහි ය. නමුත් ඔවුන්ගේ පැවැත්ම ජාතික ආරක්ෂාවට, මහජන සාමයට හෝ රටේ සදාචාරාත්මක ව්‍යුහයට කිසිදු ආකාරයේ තර්ජනයක් නොකරයි.

මෙය සදාචාරාත්මක ධනය වැරදි ලෙස යොදා ගැනීමක් පමණක්ම නොවේ; එය අවධානය වෙනතකට යොමු කිරීමකි. එය ජනතා සංවාදය පද්ධතිමය අසාර්ථකත්වයන්ගෙන් සහ හදිසි ප්‍රතිසංස්කරණවලින් ඉවතට හරවා ගොතන ලද සදාචාරාත්මක භීතියකට හරවයි. එසේ කිරීමෙන් පුද්ගලික සහ එකඟතා පදනම් වූ සම්බන්ධතාවයන්ට වඩා බොහෝ දුරට මහජන සදාචාරය පිරිහීමේ අවදානමක් ඇත.

සදාචාරය, නීතිය සහ ව්‍යවස්ථාමය යුතුකම

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ 2023 අංක 13 දරන විශේෂ තීරණයේ නිසැක ලෙස සදහන් කර ඇත්තේ “ජනතා සදාචාරය” හේතුවෙන් අනෙකාගේ ගරුත්වය, පෞද්ගලිකත්වය හෝ සමානාත්මතාවය උල්ලංඝනය කරන නීතිමය ක්‍රියාමාර්ග සාධාරනීකරණය කළ නොහැකි බවයි. සියලු අයිතිවාසිකම්වල පදනම වන මානව ගරුත්වයට අපරාධ දඬුවමට හෝ මහජන අපහාසයට බියෙන් තොරව තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතු බව අධිකරණය අවධාරණය කළේය.

වැඩිහිටියන් සඳහා වන ලිංගික සම්බන්ධතා සම්මුති ක්‍රියාවලිය සහ සමලිංගික සමීපත්වය අපරාධයක් ලෙස සැලකීම තහනම් කිරීමේ පියවර යන දෙකම මෙම ව්‍යවස්ථාපිත දැක්මට අනුකූල වේ. විදේශිකයන් විසින් පනවා ඇති තර්ජන ලෙස ඒවා වැරදි ලෙස නිරූපණය කිරීම නීත්‍යානුකූලව පදනම් විරහිත පමණක් නොව සමාජීය වශයෙන් නොසැලකිලිමත් ය.

අගතියට එරෙහි නීතිය

ආගමික නායකයින්ට ඔවුන්ගේ විශ්වාසයන්ට සහ ඒවා ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. නමුත් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ එම විශ්වාසයන් අසත්‍ය, නීත්‍යානුකූලව නොගැලපෙන සහ සමාජීය වශයෙන් ගිනි අවුලුවන ආකාරයෙන් ප්‍රකාශ කරන විට ඒවා යම්කිසි සීමාවක් තරණය කරයි. ශ්‍රී ලංකාවේ නීතිය LGBTQ+ පුද්ගලයින් ඇතුළු සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි.

තවද ආර්ථික බලාපොරොත්තු සුන්වීම, දේශපාලනික අස්ථාවරත්වය සහ ආගමික ආතතිය පවතින කාලයක සමාජයට ඇති සැබෑ අනතුර LGBTQ+ දෘශ්‍යතාව නොවේ,එය සත්‍යය සහ යුක්තිය පසිඳලමින් අගතිය නීත්‍යානුකූල කිරීමයි. මෙම යථාර්ථය නොසලකා හැරීම සදාචාරය සහ නීතියේ ආධිපත්‍යය යන දෙකම ඛාදනය කිරීමකි. එවැනි අයුතු ප්‍රකාශයන් හමුවේ නිහඬව සිටීම මධ්‍යස්ථභාවය නොවේ; එය සහයෝගීතාවයකි.

අර්බුදකාරී අවස්ථාවන්හිදී නායකත්වය තුළ සමාජය ඉල්ලා සිටින්නේ බිය වැඩි කිරීම නොව—පැහැදිලිකම, ධෛර්යය සහ අනුකම්පාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...