බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට් එකක් ශෙයා කරමින් මෙහෙම අහනවා. “ලොහාන් වගේ අයට ඔක්සිජන් දෙන එක රනිලුත් කළා නේද? ඇයි ඒ කොටස ඔයා නොලියන්නේ ?” කියල.
මගේ එක්වරම උත්තරය. ඔව්. රනිල් එහෙම කරලා තියනවා. ඒ ගැන නොලියනව නෙවෙයි. ලියල තියනවා.
රනිල් 2022 පොහොට්ටුවේ සහයෝගයෙන් අගමැති වෙලා පස්සේ ජනාධිපති වෙනකොට පොහොට්ටුවේ හිටපු අපි අකමැති (නැත්නම් අප්පිරියා කරපු) පිරිසකගේ දේශපාලන සහය වෙනුවෙන් එතන දේශපාලන සදාචාරය රනිල් අමතක කරනවා. ඒක ඇත්ත. මම ඒක කියල ලියල තියනවා. සහ මමත් ඒ තීරණය එක්ක නැහැ. ඇත්තටම ඔහු එතැන් පටන් පොහොට්ටුවේ ආරක්ෂකයෙක් වුණා. පොහොට්ටුව ඔහු නිසා ආරක්ෂා උණා. යම් මොහොතක දෙදරීමක් සිද්ද උනත් ඔහුගේ කඳවුර කියන එක මින් පස්සේ වෙනස් වෙනවා. ඒක නැවත ප්‍රතිසංස්කරණය කරන්න බැහැ.
ඒ විතරක් නෙවෙයි ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය වෙලාවේ රනිල් ඒ ඓතිහාසික කාර්යයත් බලය වෙනුවෙන් මඟහරිනවා. එතනත් මම නැහැ. මගේ පවුලේ අයත් එදා ඉඳන් රනිල් ප්‍රතික්ෂේප කළා.
දෙවැනි කරුණ අද කාටවත් අදාල නැති නිසා පළමු කරුණ ගැන කතාකරමු. ඔව්. රනිල් එතැන කලේ දේශපාලන සදාචාරය පාවාදීමක්. හැබැයි ඒක ඇතුලේ ඔහුගේම වූ (සහ රටට වැදගත් වූ) දේශපාලන ආර්ථික ප්‍රවේශයක් තිබ්බ. ජනාධිපතිකම එක්ක ඔහුට මින් පෙර නොවූ නිදහසකින් ඒ ඔහුට අවශ්‍ය වෙච්ච තීරණ ගන්න හැකි උනා. ඒ නිසා ලංකාවේ දේශපාලන සිතියම වෙනස් උනා. අදටත් අපි ඉන්නේ ඔහුගේ ආර්ථික සිතියමේ සයින් පෝස්ට් එක්ක. මම කියන්නේ ඒක සර්ව සම්පූර්නයි කියල නෙවෙයි. ඕක තමයි කරන්න තිබ්බේ වෙලාවේ හැටියට කියල.
ඔහුගේ තීරණය නිසා අපිට විප්ලවයක් මඟ හැරුණද කියන එක දැන් වැඩක් නැති කතාවක්. මොකද එහෙම සූදානමක් අපි කාටවත් තිබිල නැහැ. දැනටත් එහෙම එකක් කාටත් අවශ්‍ය නැහැ.
එකම දේ චන්දයකින් තොරව දැන් අපි ඉන්න ආර්ථික මාවතට ඔහු මීට අවුරුදු දෙකකට පෙර අපිව ඇතුල් කිරීම.
ඒ ඉතාම අවදානම් දේශපාලන තීරණය ඇතුලේ ඔහු පොහොට්ටුවේ ‘නරක’ කොටස අවුල්කර ගත්තේ නැහැ. යම් දක්ෂ කොටසක් එක්ක වැඩකරන්න තිබ්බ නිසා අනික් අය පරිවාරයේ තියාගත්ත. කොහොමත් එයා එක්ක හිටපු කොටස ඔහුට කිව්වේ ජනාධිපතිවරණේ මේ යන විදියට දිනන්න පුළුවන් කියල. ඒ නිසා ඔහු තරඟකරන්න තීරණය කළා කියල මට හිතෙනවා.
ඒ අවුරුදු දෙක ඔහුගේ දේශපාලන දිවියේ වැදගත්ම අවුරුදු දෙක කියල මම හිතනවා.
හැබැයි ඒ එක්කම ඔහු විශාල දේශපාලන හානියක්ද කරගත්ත. ඒ තමයි පොහොට්ටුවට සහ රාජපක්ෂලාට ලංකාවේ ඒ වෙලාවේ තිබ්බ විරෝධය සම්පුර්ණයෙන් ඔහු දෙසට හැරීම. ඔහු හිතුවේ ඒ අවදානම අරගෙන හරි ඉතුරු අවුරුදු පහ ගන්නවා කියල. ඒක හරියන්නේ නැහැ කියල මම දිගටම කිව්වා. ග්‍රවුන්ඩ් එක ඒ වෙද්දී ගොඩක් වෙනස් වෙලා තිබ්බේ. ලොහාන් ඔය මම මැරෙනකම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියන්නේ ඒ වෙලාවේ රනිල්ල හිටිය ගට් ෆීලින් එක ඇතුලේ. එයාල ඔක්කොම හිතුවේ එහෙම. නමුත් ඒ කැල්කියූලේෂන් වැරදිලා ගියා. එතැනින් ගොඩක් දේ වෙනස් වෙන්න නියමිතව තිබුණ.
මම කියන්නේ සදාචාරය ඇතුලේ අපිට අවුල් එහෙත් වැදගත් දේශපාලනයක් එතන තියනවා කියල. ඒකම මහින්දත් කළා. යුද්දය වෙලාවේ. නමුත් යුද්දෙන් පස්සේ ලංකාවේ මහින්ද නම් මිනිසාට ගොඩක් දේවල් වෙනස්කරන්න හැකියාව තිබ්බ. විශේෂයෙන් දේශපාලන සදාචාරය වෙනස්කරන එක. එයා ඒක කළේ නැහැ. එහෙම නොකරන වර්ගයේ චරිතයක් කියල දැනගෙනත් මිනිස්සු ඔහුට චන්දය දුන්න. ඒවා ලංකාව ගත්ත ලොකු අවදානම්.
කිසිම දෙයක් කරගන්න බැරිවෙච්ච තැන්වල මිනිස්සුත් ඒ අවදානම දේශපාලනය වෙනුවෙන් අරගත්ත. ඇතැම් වෙලාවට හොඳ වෙනුවට ලංකාවේ මිනිස්සු නරක තේරුවා. හරියට හෝ වැරදියට ලංකාවේ අනාගතය වෙනස් වෙන්න රනිල්ලගේ, මහින්දලගේ සහ ලංකාවේ මිනිස්සුන්ගේ ඒ අවදානම බලපාල තියනවා.
මාලිමාව සම්බන්දයෙන් ලංකාවේ මිනිස්සු ගත්තෙත් එහෙම අවදානමක්.
රනිල් සම්බන්දව ගත්තම මම ඉන්නේ විරුද්ධාභාශී තැනක (paradoxical position). මේක තමයි මට කියන්න තියන දෙය.
~ මහේෂ් හපුගොඩ
