දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහර පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ විසින් ජනපතිට පිළිගන්වයි!

0
301

රෂිකා හෙන්නායක අගෝස්තු 20, කොළඹ (LNW):

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.