මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා පාලකයින් විසින් වසර 76ක් තිස්සේ රට පාලනය කිරීම හේතුවෙන් බවත් එදා කාබනික පොහොර ප්‍රශ්නය මතුවෙද්දි එහි ඇති ප්‍රායෝගික තත්වය තමන් ගණන් හදා එවකට ජනාධිපතිවරයාට, කෘෂිකර්ම ඇමතිවරයාට, වෙළඳ ඇමතිවරයාට ඇතුළු බලධාරීන්ට පෙන්වා දුන් නමුත් ඒ ගණනය කිරීම තේරුම් ගැනීමේ හැකියාවක්වත් ඔවුන්ට නොතිබුණු බව අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩ්ලි සිරිසේන මහතා පැවසීය.
“අපි හොඳට කුඹුරු කරපු උන්. හරක් දෙන්නාගෙන් හාලා, හීය හාලා, දෙහීය හාලා, පෝරු ගාලා, නියර රැහැලා, නියර මඩතියලා, වපුරලා, හිටවලා, තෙල් ගහලා, පොහොර ගහලා, කක්කුටු වලවල් වහලා, ගොයම් කපලා, මිටි බැඳලා, කමතට ගෙනල්ලා, කොළ ගහලා, කොළේ පාගලා, කොළ හොල්ලලා, බැත හුළං කරලා, වී ටික ගෝනියට දාලා ගෙදර ගෙනියපු උන් අපි. අපි ඒක හොඳටම කරපු උන්. මේ ගාණ අහන්න. ඒ කාලෙ අපි වී බුසලකට – වී බුසලක් කියන්නෙ අක්කර බාගයක ප්‍රමාණයක් – පොහොර කිලෝ 61ක් පාවිච්චි කරනවා. මඩ පොහොර, යූරියා, බණ්ඩි පොහොර, මේ වාගෙ තුන් වර්ගයක්, හතර සැරයක් – යූරියා දෙසැරයක් ගහනවා – කිලෝ 61ක් පාවිච්චි කරනවා. මේකෙ කතාවක් තියෙනවා අපි පොහොර පාවිච්චි කරන ප්‍රමාණය වැඩියි කියලා. (ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා) ඒක හින්දා අපි ඒ කිලෝ 60න් කිලෝ 10ක් කපලා දාමු. වී බුසලකට රසායනික පොහොර කිලෝ 50යි. මේ රටේ මාස් කන්නය වැඩකරනවා කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 8ක්. යල් කන්නයේ වැඩකරනවා හෙක්ටයාර් ලක්ෂ 5ක්. එකතුව ලක්ෂ 13ක්. 13ටම ගණන් හැදුවහැකි. ගණන් හදන පහසුවට අපි හෙක්ටයාර් ලක්ෂ 10ක් කියලා ගමු. හෙක්ටයාර් එකකට අක්කර දෙකහමාරයි. ඒ කියන්නෙ හෙක්ටයාර් 10ක් නම් මේ රටේ කුඹුරු වැඩකරන්නෙ, අක්කර ලක්ෂ 25 යි. අක්කරයකට වී බුසල් දෙකයි. අක්කර 25යි නම් වී බුසල් ලක්ෂ 50යි. වී බුසලකට රසායනික පොහොර – මම ඉස්සෙල්ලා කියපු විදියට – කිලෝ 60ක් ඕනෙ. අපි ඒකෙනුත් 10ක් කපලා 50ක් ගත්තාම, කිලෝ 50 ඒවා ලක්ෂ 50ක් කියන්නෙ රසායනික පොහොර කිලෝ කෝටි 25ක් ඕනෙ.
මම රටේ කෘෂිකර්ම ඇමතිවරයාට, වෙළඳ ඇමතිවරයාට, ජනාධිපතිවරයාට, ඔය ඉන්න නායකයෝ ඔක්කොටම මම කිව්වා මේ කතාව. එහෙම නම් රසායනික පොහොර කිලෝ කෝටි 25ක් ඕනෙ නම් රසායනික පොහොර කිලෝ එකක තියෙන ශක්තිය ගන්න, පවර් එක ගන්න කාබනික පොහොර කිලෝ 15ක් පාවිච්චි කරන්න ඕනෙ නම් – අපි ඒකෙනුත් 5ක් අයින් කරලා ගාණ හදාගන්න ලේසියට කිලෝ 10ක් කියමු. එතකොට රසායනික පොහොර නම් කිලෝ කෝටි 25යි, ඒක වැඩිකිරීම 10, කිලෝ කෝටි 250 යි. මේ තීන්දුව ගත්ත නිලධාරීන්, මේවාට නායකත්වය දීලා එක එක මිනිස්සුන්ගෙ ඔළුව කාපු හුඟක් කට්ටිය මට වැඩිය හොඳට ඔයාලා දන්නවා, ඒ එක්කෙනෙක්වත් කල්පනා කළාද අපද්‍රව්‍ය හරි කුණු හරි මොනවා හරි කිලෝ කෝටි 250ක් මේ රට ඇතුළෙ හොයාගන්න පුළුවන්ද කියලා ? මම මේ කතා කරන්නෙ වී ගොවිතැන විතරයි. මේ රටේ පොල්, රබර්, තේ, කුරුඳු, එළවලු, පළතුරු, තව කී ජාතියක් තියෙනවද ? මම ඒකයි කිව්වෙ ගණිතය දන්නෙ නැති උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ.
මේ රටේ වී ගැන හාල් ගැන කතා කළාම ඩඩ්ලි සිරිසේන තමයි මිනිස්සු දන්නෙ. මේ රටේ දවසේ අවශ්‍යතාවය හාල් කිලෝ ලක්ෂ 60ක්. මම ඒකෙන් හදනවා හාල් කිලෝ ලක්ෂ 4ක්. මේ රටේ ජනතාව දවසකට කනවා පිටි කිලෝ ලක්ෂ 20ක්. හාල් කිලෝ ලක්ෂ 60යි, පිටි කිලෝ ලක්ෂ 20යි, ලක්ෂ 80ක් කිලෝවලින්. පිටි නෑ දැන්. පිටි කිලෝ එකක් හාල් කිලෝ එකකටත් වැඩිය ඉහළින් තියෙන්නෙ. හාල් කිලෝ එකෙන් අටදෙනෙකුට කන්න පුළුවන්. පිටි කිලෝ එකකින් රුපියල් 180 ගාණෙ පාන් රාත්තලකට යොදවපුවාම පාන් රාත්තල් 4ක් ගන්න ඕනෙ හාල් කිලෝ එකකින් කන ප්‍රමාණය කන්න. එතකොට 180 ඒවා 4ක්, රුපියල් 720 යි. ගණිතය දන්නෙ නැති උන් කියන එකට සමාවෙන්න ඕනෙ, සමහරු සමාවෙන්න නම් ඕනෙත් නෑ. ගණිතය දන්නෙ නැති උන් අවුරුදු 76ක් මේ රට පාලනය කරපු එකේ ප්‍රතිඵලය. හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුගමගේට කිව්වා, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට කිව්වා, රටේ හිටපු ජනාධිපතිවරයාට කිව්වා මේ රසායනික පොහොර සඳහා කාබනික පොහොර යෙදීමේ තියෙන ගැටලුව මේ වගේ ගණනය කරලා කිව්වා. නමුත් ඔවුන් එකෙකුටවත් ගණනය තේරුම් ගැනීමේ හැකියාවක් නැති බවමම පසුව වටහාගත්තා. ඔය මාධ්‍යවලට ඇවිල්ලා කතා කරන මිනිස්සුන්ගෙන් තමුන් කරන සබ්ජෙක්ට් එක, තමුන්ගෙ වගකීම පිළිබඳ කීදෙනෙක්ද ඕක ප්‍රායෝගිකව දන්නෙ ? කතාවට විතරක් දක්ෂ උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ. ඔය TV චැනල් තියෙන්නෙ, ගෙන්නන්නකො ඔය ඔක්කොමලා. මාත් එන්නම්. ඔය මැති ඇමතිවරුයි, ඔය මීඩියාවල කයිය ගහන උනුයි, ඔක්කොම. මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරපු මිනිහෙක්. මට ඇඟිල්ල දික්කරන්න බෑ. මේ රටේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සියෙන් හම්බකරපු දේ මේ රට ඇතුළෙ ආයෝජනය කරපු කෙනෙක් මම. මට හෙට මළත් මම සතුටුයි. මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක්”
