හිටපු ජනාධිපතිවරයාට හෝ පාලනයේ ඉහළ තනතුරු දැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් මින් ඉදිරියට කිසිදු දිනයක පාලනයේ ඉහළ සිටින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවත් එසේ වුවහොත් පාලනයේ ඉහළ සිටින අය කිසිදු බියකින් තොරව නීති කැඩීමට පෙළඹෙනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
“ඔය රනිල් මහත්තයා වෙනුවෙන් එකතුවෙලා ඉන්න ඔක්කොටම – මං හිතන්නෙ 90%කට විතර වගේ – නඩු තියෙනවා. ඒ හැමෝම නීතියෙන් වැරදි කරපු අය. ඒ නිසා දැන් මේ අපරාධ කරපු අය, වැරදි කරපු අය අපරාධවලින් ගැළවීමට තමයි එකතුවෙලා ඉන්නෙ. ඒ නිසා සියලු අපරාධකාරයෝ එක ගොඩකට එකතු වීමත් මං හිතන්නෙ ජනතාවට ලේසි වෙයි තේරුම් ගන්න අර කලින් තිබිච්ච ඒගොල්ලන්ගෙ වෙනස්කම් අයින් කරලා දාලා එක ගොඩකට ඇවිත් තියෙන එකෙන්ම ජනතාව ඉන්න ඕනෙ කොතැනද කියන කාරණය පිළිබඳව.
අපි දකින ආකාරයට නම් ජනතාව මේ සම්බන්ධයෙන් ඉන්නෙ පැහැදිලි තැනක. මොකද, නීතිය සාමාන්‍ය ගමේ කෙනාට විතරක් නෙවෙයි, කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට විතරක් නෙවෙයි ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාට වුණත් විරුද්ධව කටයුතු කරන්න ඕනා කියලා. මොකද අපි අවධාරණය කරන්නේ, ජනාධිපතිකම් කරපු හෝ ඉහළ තනතුරු දරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නැත්නම් ඔවුන් වැරැද්දක් කරාපුවාම ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම්, ඒකට බාධා කරනවා නම් මීට පස්සෙ අපිට කවදාවත් පාලනයේ ඉහළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා. එහෙම වුණොත් පාලනයේ ඉහළ අය නීති කඩන්න බයවෙන්නෙ නෑ. ඒ නිසා ඒගොල්ලො බය නැතිව නීති කඩන්න පුළුවන්කම තියෙනවා, වැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒක රටට හොඳ නෑ. ඒ නිසා අපි හිතන්නෙ නීතියට තමන්ගෙ වැඩේ කරන්න දුන්නාම හරි”
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
