රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

Date:

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට “දැඩි විවේකයක්” අවශ්‍ය බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරයා අධිරුධිර පීඩනයෙන් සහ දියවැඩියා රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බව ඔහු සඳහන් කළේ ය.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ අද (අගෝ. 25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා “දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ දැඩිසත්කාර ඒකකයේ තබා ගත යුතු බවට” විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව ය.

“යම් කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ථාවර තත්ත්වයක් පෙන්වනවා. හරි ම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්ත්වයක සිටියි ද කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය.වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ බීබීසී සිංහල අතර සිදුවුණු සංවාදය

හිටපු ජනාධිපතිවරයාගේ දැන් සෞඛ්‍ය තත්ත්වය කොහොම ද?

තාම දැඩි සත්කාර ඒකකයේ. අපිට දින තුනක් නිරීක්ෂණය කරන්න වෙනවා.

හෙට දිනයේ අධිකරණයට යන්න පුළුවන් ද?

බැහැ නේ. ඉස්සෙල්ලා ම දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට යන්න ඕනේ. සාමාන්‍ය වාට්ටුවක ඉඳලා තමයි නඩුවට යන්න ඕනේ.

සංකූලතා ඇති වෙලා තියෙනවා ද?

සංකූලතා වර්ධනය වේගෙන එනකොට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ප්‍රතිකාර ගත්ත නිසා ඒක රිවර්සිබල් වෙනවා.

එතකොට විජලන තත්ත්වයක් ද ඔහුට තියෙන්නේ?

විජලනය සහ ඒ සම්බන්ධ සංකූලතා… වකුගඩු සහ හෘදය…

ඒ කියන්නේ ඒවායේ සංකූලතා ඇති වෙලා තියෙනවා ද?

ඇති වෙලා තියෙනවා නෙවෙයි, ඇති වේගෙන ගියා ම, පැරාමීටර්ස් වෙනස් වේගෙන එනකොට අපි ටක් ගාලා මැදිහත් වුණා.

විවේකයක් ද අවශ්‍ය එතකොට?

දැඩි විවේකයක් සහ සජලනය තමයි අවශ්‍ය. ඔහුට කොහොමත් අධිරුධිර පීඩනය සහ දියවැඩියාව තියෙනවා. ඒවත් පාලන කරන්න වුණා. මොක ද ඒ පරාමීතීනුත් වැඩි වෙලා තිබුණ නිසා.

අගෝස්තු 24 වන දා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහසක් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිකාර කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ය.

විජලනය යනු කුමක් ද?

විජලනය යනු, මිනිස් සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිරත නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

වැඩි වශයෙන් දහඩිය දැමීම, වමනය, පාචනය සහ අතීසාරය වැනි තත්ත්වවලදී විජලනය ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

“විජලනය ඉතා භායනක වෙන්නේ කුඩා දරුවන්ගේ සහ වැඩිමහල් අයගේ. ඒ අයට විජලනය කියන දෙය සරල දෙයක් නෙවෙයි,” වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු සඳහන් කළේ, විජලනය මොළය, හෘදය සහ වකුගඩු ආදී අවයවවල ක්‍රියාකාරිත්වය බලපෑ හැකි බව ය.

[විජලනය හේතුවෙන්] “හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්,” ඔහු පැවසීය.

ඇප ලබා දීමට අසනීප යි කියන එක සුවිශේෂී කරුණක් වෙන්නේ නැහැ’ – නීතිඥ උදුල් ප්‍රේමරත්නයම් හෙයකින් හෙට (අගෝ. 26) දිනයේදී හිටපු ජනාධිපතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වුවහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල නීතිඥ උදුල් ප්‍රේමරත්නගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය වෙත කරුණු දක්වනු ඇති බව ය.

“ආවේ නැත්නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනව නේ එයාගේ නීතඥවරුන්. ඒක විනිසුරුවරයා විසින් සලකා බලනවා. එතකොට වරෙන්තු කරන්නේ නැහැ ආවේ නැහැ කියලා. වෙන්න පුළුවන් දේ තමයි ඊළඟ දවසකට යාවි,” ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, නීතිඥවරයා අවධාරණය කළේ, ඇප ලබා දීම සඳහා “අසනීප යි කියන එක සුවිශේෂී කරුණක් වෙන්නේ නැහැ,” යනුවෙනි.

“මහේස්ත්‍රාත් ඇප දෙන්න නම්, පොදු දේපළ පනතේ සුවිශේෂී කරුණු තියෙන්න ඕනේ. දැනටත් ප්‍රතිකාර හම්බ වෙනවා නම් ඇප ලබා දෙන්න හේතුවක් නෙවෙයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

සැකකරුවෙකුට ඇප ලබා දීම හෝ ලබා නොදීමට අධිකරණයට පැමිණීම අදාළ නොවන බව නීතිඥ අචලා සෙනෙවිරත්න පැවසුවා ය.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, “අධික ලෙස රෝගාතුර වීමත් සුවිශේෂී කරුණක්. හෘද රෝගියෙක් නම් සුවිශේෂී කරුණක් විදිහට සලකනවා. හැබැයි ඔප්පු කරන්න ඕනේ එයාට ඒ අදාළ ස්ථානයෙන් ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ කියලා,” ඇය පැහැදිලි කළා ය.

පොදු දේපළ පනතේ යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දිය හැකි ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ සහ පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ චෝදනා ගොනු කර ඇතැයි නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත බීබීසී සිංහල වෙත පැවසීය.

ඒ අනුව, පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දීමේ බලයක් තිබේ ද? යන්න පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාගේ විමසීමක් කළේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දීමේ හැකියාව පවතින බව ය.

“යම් කිසි පුද්ගලයෙක්ව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ පසුව අවස්ථා දෙකක් තියෙනවා මහේස්ත්‍රාත්තුමාට ක්‍රියාත්මක වෙන්න. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමාට සාමාන්‍ය නීතිය යටතේ ඇප ලබා දීමට හැකියාවක් තියෙනවා ඇප පනත යටතේ ක්‍රියාකරමින්. ඒක පළවෙනි අවස්ථාව.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරයෙකුට වඩා ඉහළ නිලධාරියෙකු විසින් දෙනු ලබන සහතිකයක් මත ඒ අදාළ සැකකරු ඉදිරිපත් කළහොත් එවැනි අවස්ථාවකදී ඒ සැකකරුගේ පාර්ශවය වෙනුවෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් කරනු ලැබුවහොත් ඒ වගේ අවස්ථාවකදී ඇප දීමේ හැකියාව තියෙනවා,” ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, එම සුවිශේෂී කරුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායක මෙරට නීතියේ සඳහන් කර නොමැති බව ය.

“නමුත් නඩු තීන්දුවලින් ඒ පිළිබඳව වරින් වර පෙන්වා දීලා තියෙනවා. ඒකෙ එක කාරණයක් තමයි, රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ රෝගී තත්ත්වය පිළිබඳව විස්තරාත්මක කරුණු පෙන්වා දීම තුළ සහ ඒ ඉදිරිපත් කරන අවස්ථාවේදී සකකකරු රෝගයෙන් පීඩා විඳින එක අධිකරණය සෑහීමකට පත් කරන්න ඕනේ.

ඊට අමතරව තවත් එක් අවස්ථාවක් තියෙනවා නඩුවේ කරුණු පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම්, දුර්වලතාවක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් ධම්මදින්නා භික්ෂුණියගේ නඩු තීන්දුව අනුව අධිකරණයට ඒක සුවිශේෂී කාරණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.

තවත් අවස්ථාවක් තමයි, මේ වගේ තත්ත්වයකදී අපරාධ නීතිය යටතේ ක්‍රියාකරන්න ඕනේ ද නැද්ද කියලා බලලා ඇප දීමා සලකා බලන්න පුළුවන්,” ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරටත් දක්වමින් මෙසේ ද පැවසීය:

“ඒ වගේ ම පැහැදිලිව කියලා තියෙන දෙයක් තමයි, හුදෙක් පැමිණිල්ලක් ලැබුණු නිසා ම පුද්ගලයෙකුව ඉදිරිපත් කරලා ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරන්න එපා කියන එක. ඒ වගේ ම නඩුවේ සාක්ෂි එකතු කර ගන්නා තුරු පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ තියන්න එපා කියලත් තියෙනවා.”

BBC සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...

පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): හුණු වලින් හැඳ...

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...