සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ මාධ්‍ය සාකච්ඡාවේදී කළ මූල්‍ය වංචා හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW:

සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා (25) දා කොල්ලුපිටිය, අධ්‍යාපන සමුපකාර සමිතියේ ප්‍රධාන ගොඩනැඟිල්ලේදී පැවැත්විණි. ඊට සමිතියේ සභාපති ලාල් කුමාර, ප්‍රධාන ලේකම් ක්‍රිෂාන්ත කවිකාර , උප සභාපතිනි ප්‍රියංගා තෙන්නකෝන් සහ උප ලේකම් ධනුෂ්ක පතිරණයන මහත්ම මහත්මීහු සම්බන්ධ වූහ.

බඳවා ගැනීම් තහනම නොතකා අනියම් පදනමින් සේවකයන් 400ක්
හිරුට දුන් දැන්වීමකින් රුපියල් 702,000ක් වංචාවක්
සභාපති ලේකම් වාහන අවභාවිතාවක යෙදිලා
ඉදිකිරීම්වලිනුත් ගාසා කාලා
සමිතිය ඩිජිටල් කරනවා කියා මිලියන 76කට වෙච්ච දෙයක් නෑ

මෙහිදී අදහස් දැක්වූ සමිතියේ සභාපති ලාල් කුමාර මහතා,


“මේ රටේ මේ වනතුරු පැවතියේ රිසි සේ ජනතා මුදල් විනාශ කළ පාලනයක්. පසුගියදා අත්අඩංගුවට පත් වූ හිටපු ජනාධිපතිවරකු වන රනිල් වික්රමසිංහටත් තිබෙන්නේ එවැනි චෝදනාවක්. පාලකයන් විසින් ජනතා මුදල් විනාශ කිරීමේ එක් කොටසක් වශයෙන් අධ්‍යාපන සමුපකාර සමිතියෙත් වංචා දූෂණ සිදු වෙලා තිබෙනවා. එම දූෂණ පිළිබඳව අනාවරණයක් කිරීමයි මේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වන්නේ. 2025 වසරේ මාර්තු 29 වැනිදා සිට පත් වූ නව අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පසුගිය සමයේ සමිතියේ සිදු වී තිබෙන වංචා දූෂණ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. සමුපකාර දෙපාර්තමේන්තුවේ විගණකවරුන් විසින් සකස් කළ 2020 සහ 2021 වර්ෂවල නිල විගණක වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබී තිබෙන අතර එහිදී මතු වු සමිතියේ පසුගිය කාලයේ සිදු කර ඇති වංචා, දුෂණ හා අක්‍රමිකතා ගණනාවක් හෙලිදරව්ව තිබෙනව.


සමිතිය අප විසින් භාර ගැනීමට පෙර වසර දෙකක් තිස්සේ පාලනය කළේ රනිල් – රාජපක්ෂ ආන්ඩුවේ හෙංචයියන් පිරිසක්. එතැන සිටියේ නීති විරෝධිව පත් වූ හොර අතුරුපාලක මණ්ඩලයක්. මේ වංචා දූෂණවලට වගකිව යුතු එම හොර නිලධාරීන්ගේ වගකීම යන්නේ ඔවුන් පත් කළ රනිල් – රාජපක්ෂ පාලකයන් වෙතයි. හිටපු සමුපකාර ඇමති නලින් ප්‍රනාන්දු අවුරුදු 25කට මේ වන විට සිරබත් කමින් සිටිනවා. නලින් ප්‍රනාන්දු විසින් බලපෑම් කරල තමයි මේ හොර අතුරු පාලක මණ්ඩලය පත් කළේ. 2022 වසරට පෙර එනම් 2019-2022 කාලයේදී මේ සමිතිය පාලනය කළේ පොහොට්ටුවේ සාමාජිකයන්. ඔවුන්ට උපදෙස් දුන්නේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු නායකයන්.


මේ සමිතිය සේවකයන් බඳවා ගැනීමට අදාළව නියෝග උපදෙස් දෙන සමුපකාර සේවක කොමිසන් සභාව විසින් සමිතියට අනියම් සේවකයන් බඳවා නොගන්නා ලෙස උපදෙස් දී තිබුණා. එසේ තිබියදී අනියම් සේවකයන් හාරසීයකට ආසන්න පිරිසක් බඳවාගෙන තිබෙනවා. ඒ අනියම් සේවකයන් බඳවාගනිමින් සමිතියේ රුපියල් මිලියන 629ක් නාස්ති කොට තිබෙනවා. එම අනියම් සේවකයන්ගේ පත්වීම් විධිමත් කිරීමේ ක්‍රියාවලියක් අප විසින් සිදු කරමින් සිටිනවා.


2020 වසරේදි රුපියල් 918,000ක් වටිනා සමිතියේ ප්‍රචාරක දැන්වීමක් හිරු රුපවාහිනි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුර News Belt හි ප්‍රචාරය කිරීම සඳහා රුපියල් 1,620,000 ක්, ගෙවා ඇති බවට අනාවරණය වී තිබෙනවා. එයින් සමිතියට සිදු කළ ඇති අලාබය රුපියල් 702,000ක්. ඒ වගේම මේ ගනුදෙනුවේදී සමිතිය විසින් රජයට ගෙවිය යුතු රුපියල් 120,000ක වැට් බදු මුදලත් ගෙවා නෑ. මේ ගනුදෙනුව නිසා සමිතියට සිදු වී ඇති අලාභය ඊට වගකිව යුතු පිරිසගෙන් අය කරගත යුතු බවට පැහැදිලිම විගණන වාර්තාවේ සඳහන් කොට තිබෙනවා.


සමිතියේ පසුගිය පාලන සමයේ සභාපතිවරයා සහ ලේකම් විසින් සමිතිය සතු වාහන අවභාවිත කළ බවට අනාවරණයක් කර තිබෙනවා. නිසි අනුමැතියකින් තොරව මෙම නිලධාරීන් විසින් සමිතියට අයත් වෑන් රථ දෙක පරිහරණය කර ඇති බව ඒ අනුව වාර්තා කරනවා. ඒ අනුව සභාපතිවරයා විසින් රුපියල් 360,537ක සහ ලේකම්වරයා විසින් රුපියල් 350081.50ක අලාභයක් වාහන අයථා පරිහරණය විසින් සමිතියට සිදුකොට තිබෙනවා.


පොහොට්ටු පාලන සමයේදී සමිතියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සිදු කර ඇති අලුත්වැඩියාවේදිත් අක්‍රමිකතා රාශියක් සිදු ව ඇති බවට විගණනය විසින් හෙළි කරගෙන තිබෙනවා. අලුත්වැඩියාවට අදාළ උපදේශන සේවා සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලින් තොරව කටයුතු කර තිබෙනවා. ගොඩනැඟිල්ල අලුත්වැඩියාව සම්බන්ධයෙන් අනුගමනය කළ නෛතික ක්‍රියාපටිපාටිය වැරදි සහගත බවට ඔප්පු වී තිබෙනවා. ගොඩනැඟිල්ල අලුත්වැඩියාව සඳහා වටිනාකම රුපියල් 57,567,128ක මුදලක්. එසේම අලුත්වැඩියාව අතරතුර තවත් අමතර වැඩ සඳහා කියමින් 1,161,588ක අතිරේක ඇස්තමේන්තුවක් සකසා තිබෙනවා. එම ඉදිකිරීම් සඳහා කියමින් මිලියන 56ක මුදලක් සමිතිය විසින් ගෙවා තිබෙනවා. නමුත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් සිදුකළ ගොඩනැඟිල්ල එම අළුත්වැඩියාව පිලිබඬ ප්‍රමිතිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ ඉදිකිරීම්වල සැබෑවටිනාකම රුපියල් 30,646,895ක මුදලක් පමණක් කියලා. නමුත් ඉදිකිරීම්වලට අදාළව නොගෙවු මුදලක් ඉල්ලා කොන්ත්‍රාත් සමාගම විසින් සමිතිය එරෙහිව නඩුවක්ද ගොනු කර තිබෙනවා.


එසේම ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් උපදේශන ආයතනය විටින් විට වෙනස් කර තිබෙනවා. තවමත් මේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම අවසන් කරලත් නෑ. මේ ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කටයුතුවලදීත් වැට් වංචාවක් කර තිබෙනවා.


සමිතියට අයත් කරතරගම විශ්‍රාම ශාලාව සිව් මහල් ගොඩනැඟිල්ලක් දක්වා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය පාලන ආරම්භ කර තිබෙනවා. එහි පිරිවැය වී ඇත්තේ රුපියල් 302,599,172ක මුදලක්. මේ ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කරුට ලබාදී ඇත්තේ විධිමත්ව නොවෙයි. නමුත් අද වනතුරුත් කතරගම විශ්‍රාම ශාලාවේ කිසිදු ඉදි කිරීමක් මේ වනතුරු කර නෑ. කොන්ත්‍රාත්තුවට අදාළව තාවකාලික ඉදිකිරීම් සිදු කලේ යැයි කියමින් රුපියල් මිලියන 20ක් ඉල්ලා කොන්ත්‍රාත්කරු විසින් නඩුවක්ද සමිතියට එරෙහිව ගොනු කර තිබෙනවා. එම තාවකාලික ඉදිකිරීමක් කිසිසේත්මකොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී හිටපු සමුපකාර ඇමති නලින් ප්‍රනාන්දු මෙම කොන්ත්‍රාත්තුව ම්‍රදානය කරන ලෙසට බලපෑම් කර තිබෙන බවට තොරතුරු තිබේ.


2021.11 26 වැනිදා සමිතිය විසින් සමිතිය ඩිජිටල්කරණය කිරිම සඳහා සමාගමකට භාර දීලා තිබෙනවා. එම ව්‍යාපෘතිය රුපියල් මිලියන 96ක ව්‍යාපෘතියක්. ගිවිසුම්ගත කළ දින සිට මාස 6කින් සමිතිය ඩිජිටල්කරණය කිරීම තමයි එකඟතාව වෙලා තිබුනේ. එම ව්‍යාපෘතියට අදාල ගිවිසුම්වලත් නිලභාවයක් නැති බවට විගණනය විසින් හෙළි කරගෙන තිබෙනවා. පිරිවිතර සැකසීමේ ගිවිසුම අනුව රුපියල් මිලියන් 7.5ක් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙවා තිබෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා මිලියන 76ක් මේ වන විටත් ගෙවා අවසන්. නමුත් අද වන තුරුත් සමිතිය ඩිජිටල්කරණය තබා ඊට අදාළව එක පරිගණකයක් හෝ එකතු වෙලා නෑ.


රනිල් – රාජපක්ෂ පාලන සමයේ මෙන්ම ඊට පෙර පොහොට්ටුවේ පාලනය විසින් මේ ආකාරයට සමිතියට කළ විශාල හානිය වෙනුවෙන් පියවර ගන්නවා. ඊට අදාළව මේ වන විටත් පියවර ගනිමින් ඉන්නේ. සමිතියේ වංචා කළ අන්තිම සතය දක්වා නැවත පියවා ගැනීමට අපි කටයුතු කරනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

කාසියේ වාසිය සජිත්ට?

උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...