අද (28) EPF සල්ලි වලට වෙන්න යන දේ ….

Date:

සේවක අර්ථසාධක අරමුදල, අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්, වාණිජ බැංකු, අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන් ඇතුළු තමන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර හා හුවමාරු කර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට ලබා දී තිබුණු කාලය දෙවරක්ම දිගු කිරීමෙන් පසුව මෙසේ ඉල්ලීම් කළ හැකි අවසන් දිනය අගෝස්තු 28 දක්වා කල් ගියා. දැන් මෙම දිනය නැවත තෙවන වරටද කල් දමා තිබෙනවා. ඒ අනුව, එසේ ඉල්ලීම් කිරීම සඳහා සැප්තැම්බර් 11 දින දක්වා කාලය ලැබෙනවා. අයදුම් කිරීමෙන් අනතුරුව රජය විසින් පිළිගත් ඉල්ලීම් පිළිබඳව දැනුම් දෙන දිනය සැප්තැම්බර් 12 දක්වාත්, අදාළ හුවමාරුව සිදු කරන දිනය සැප්තැම්බර් 14 දක්වාත්, කල් දමා තිබෙනවා.

කරුණු සිදුවන පිළිවෙළ අනුව, මෙය සැප්තැම්බර් 11 දින හතරවන වරටද කල් දමන්නට සිදුවීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දිග්ගැසෙමින් ඇති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමද මීට අනුරූප ලෙස පස්සට යනවා.

මෙසේ තෙවන වරටද දිනය කල් දැමීම නිසා, එම අලුත් අවසන් දිනයට පෙර සැප්තැම්බර් 1 දින දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක් කල් පිරෙනවා. ඒ අනුව, දැනටම එම බැඳුම්කර හුවමාරු කරන මෙන් ඉල්ලා ඇති අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වන අතර අදාළ බැඳුම්කර වෙනුවෙන් ඒවායේ ආයෝජනය කර ඇති අයට මුලින් එකඟ වූ පරිදි මුදල් ආපසු ලැබෙනවා.

අලුත් අවසන් දිනයෙන් පසුව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් ලබනවා. ඒ අතරින් මුලින්ම කල් පිරෙන්නේ ඔක්තෝබර් 1 දින කල් පිරෙන 7% කූපන් බැඳුම්කරයයි. ඉන් පසුව, නොවැම්බර් 15 දින 6.3% කූපන් බැඳුම්කරයක් කල් පිරෙනවා. ණය හුවමාරු වැඩසටහන දිගින් දිගටම කල් ගියහොත් මේ බැඳුම්කරද හුවමාරු වැඩ සටහනෙන් ඉවත් වී යා හැකියි.

ණය හුවමාරුවේදී නිකුත් කරන බැඳුම්කර වෙනුවෙන් 2025 දක්වා 12%ක කූපන් පොලියක්ද, ඉන්පසුව 2038 හෝ කල් පිරෙන වසර දක්වා 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. අද (අගෝස්තු 28) වෙන්දේසි කරන 2028 කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලබා දෙන්නේද 9%ක කූපන් පොලියක් පමණයි. 2026දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 11.5%ක කූපන් පොලියක් ගෙවනවා. සැප්තැම්බර් 1 දින කල් පිරෙන, ණය හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේදී නිදහස් වන අරමුදල් නැවත ආයෝජනය කරන්නට සිදු වන්නේ මෙවැනි කූපන් පොලියක් ලැබෙන බැඳුම්කර වලයි. එහෙත්, මෙම බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ, කූපන් පොලියට වඩා වැඩි, 13% ආසන්න මට්ටමකයි. හරිම ගණන අද වෙන්දේසියෙන් පසුව බලාගන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...