ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපති අතට!

0
718

රෂිකා හෙන්නායක අගෝස්තු 29, කොළඹ LNW:

අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.

සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන බවද සඳහන් වේ.

ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර ඇති අතර, මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්ම මහත්මීහුද එක්ව සිටි බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.