මේ රජය බලය ගත්තු දවසේ ඉදන් ජනතාවගේ බඩට ගහපු එක කළේ -නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක අගෝස්තු 30, කොළඹ LNW :

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද(30) දින ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

​”2005ට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබිච්ච තත්ත්වය පිළිබඳව ඔබ තමුන්නාන්සේලා දන්නවා. හැබැයි එදා මේ අධිවේගී මාර්ගය හදනකොට, මේ අධිවේගී මාර්ගය හැදුවේ මේ මහින්ද රාජපක්ෂට අපේ හාමුදුරුවනේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා කිව්වා. මං දැක්කා ඊයෙ, පෙරේදා, පළමුදා පෝලිමේ එනවා වාහන ඇඹුල් තියල් ගෙනියන්න නේද?

​දැන් ධීවරයාට මේ තියෙන තෙල් මිලත් එක්ක මුහුදු ගිහිල්ලා අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන් ලාභයක් ලබන්න බෑ. ඒ හින්දා ඉතින් අධිවේගී මාර්ගය ඇඹුල් තියල් හදන්න හැදුවත් දැන් වැඩේ වෙන්නේ නෑ. වැව්වලත් මාළු නෑ. ඇයි? හිඳිලා.
​පසුගිය කාලසීමාව තුළ වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වුණේ නෑ මේ අභියෝගයට මුහුණ දෙන්න. අවුරුදු දෙකක් විපක්ෂයට බැන බැන හිටියා. ඒ කියන්නේ රාජපක්ෂලාට. අවුරුදු දෙකක්! අඩුම ගානේ අවුරුදු දෙක ඇතුළත මේ ලුණුගම්වෙහෙර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මොනරාගල, වැල්ලවායේ, බුත්තල වැව් ටික සුද්ධ කරන්න. කයිවාරු ගහන එක නවත්තලා, බනින එක නවත්තලා. අඩුම ගානේ පොඩි වැස්සකට හරි යම් සහනයක් ලබාගන්න තිබ්බා.

​එක පැත්තකින් වී ගොවියා අසරණ වෙලා ඉන්නවා. තවත් පැත්තකින් හේන් ගොවියා. අද හේන් ගොවිතැන් කරන අයට අපේ හාමුදුරුවනේ, තමන්ගේ ගොවිතැන් කරගන්න අවස්ථාව දෙන්නේ නෑ. අවසර ගන්නේ කොහෙන්ද කියලවත් දන්නේ නෑ දැන්. ඉස්සර නම් ප්‍රාදේශීය කමිටුවෙන්, දිස්ත්‍රික් කමිටුවෙන් කාලෙන් කාලෙට එක එක ප්‍රදේශවලට අවසර දුන්නා. හැබැයි අද ආණ්ඩුවේ අවශ්‍යතාවය මත, ආණ්ඩුවේ ඕනෑකම මත කැලෑ සුද්ධ කරනවා. හැබැයි ගොවියෙක් හේනකට ගිහිල්ලා වසර 10, 15, 20, 30, 40, 50 හේන් කරපු තැන්වලවත් අඩුම ගානේ හේනක් කරගන්න අවසර දෙන්නේ නෑ. මේක තමයි ඇත්ත කතාව.
​අනික් පැත්තෙන් ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. එළවළු, පළතුරු පිටරටින් ගේනවා. ඒ තුළ මේ රටේ ගොවියාට සාධාරණයක් වෙන්නේ නෑ.

​උපාධිධාරී දරුවෝ රැකියා ඉල්ලගෙන ගියා. ඇයි මැතිවරණ කාලේ පොරොන්දු වුණානේ ගෙයින් ගෙට යන්න, අපි රස්සා ටික දෙනවා කියලා. දැන් ගහලා පන්නනවා. අර එක කාලයක් තියෙනවනේ, අපි ආණ්ඩුවක් පිහිටුවලා කාලයක් යනකොට කියනවා දැන් ජනතාවට ආණ්ඩුව එපා වේගෙන එන්නේ. එහෙම කියනවනේ? හැබැයි අපේ හාමුදුරුවනේ මේ ආණ්ඩුවේ අනික් පැත්ත. බලයට ආපු දවසේ ඉදන් ආණ්ඩුවට ජනතාව එපා වේගෙන යනවා. සාමාන්‍යයෙන් ජනතාවටනේ ආණ්ඩුව එපා වෙන්නේ? අනේ මේ ආණ්ඩුව, ආණ්ඩුවට ජනතාව එපා වේගෙන යනවා.

​බලය ගත්තු දවසේ ඉදන්, බලය ගත්තු දවසේ ඉදන් ජනතාවගේ බඩට ගහපු එක කළේ. අසීමිත බදු! දෛනික ආදායම් උත්පාදනය කළත් අසීමිත බද්දක් වදිනවා. හැමදේකටම දරාගන්න බැරි බදු. විදුලි බිල එන්න එන්න වැඩි කරනවා. තෙල් මිල වැඩි කරනවා. දැන් කියනවා මේ ලෝකයේ යන යුද්ධයක් හින්දා තෙල් මිල, විදුලි බිල වැඩි වෙනවා කියලා. නෑ! බාල ගල්අඟුරු ගේනවා. එක නැවක් නෙවෙයි, නැව් 15ක්.අද වෙනකන් බාල ගල්අඟුරු ගෙනාපු සමාගමට විරුද්ධව ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද?
​අද වෙනකන් වරායෙන් කන්ටේනර් පන්නනවා. බලනකොට ජනාධිපති ලේකමුත් කන්ටේනර් පන්නලා අහුවෙච්ච කෙනෙක්. ජනාධිපතිවරයා දන්නවා තමන්ගේ ලේකම් කන්ටේනර් පන්නන්න දක්ෂයෙක් කියලා. අපේ හාමුදුරුවනේ ඒ ලේකම්ව ගෙනල්ලා ජනාධිපති ලේකම් බවට පත්කරනවා. ඒ පුද්ගලයාව ගෙනල්ලා. ඒ පුද්ගලයා ජනාධිපති ලේකම් වෙච්ච දවසේ ඉඳන් වරායෙන් කන්ටේනර් පන්නනවා. කන්ටේනර් පන්නලා කළු පැල්ලමක් තියෙන, කන්ටේනර් පන්නලා දක්ෂතාවයක් තියෙන, ඔහු වැරදිකාරයෙක් බවට පත්වෙච්ච වාර්තාවක් ජනාධිපතිවරයාගේ මේසය උඩ තියෙද්දි ඔබ ජනාධිපති ලේකම් බවට පත්කරනවා. එදා ඉඳන් කන්ටේනර් පනිනවා වරායෙන්.

​තවත් පැත්තකින් ඉන්නවා මුදල් ලේකම්වරයා. පාර්ලිමේන්තුවේ ඉඳන් ගිහිල්ලා මුදල් ලේකම් කළේ. පාර්ලිමේන්තුවේ ඉඳලා ගෙනිච්චේ. ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවේ ඉඳලා මුදල් ලේකම් කරපු දවසේ ඉඳන් වැරදි ගිණුමකට සල්ලි දානවා. ඇහුවාම කියනවා හැකර් කෙනෙක් පන්නලා. වැරදි ගිණුමට සල්ලි දානවා. අන්තිමට පැමිණිල්ල දාපු කෙනා බල නහර කපාගෙන මැරෙනවා. මැරෙනවාද, මැරිලාද, මරලාද ඒ කාරණා නම් දන්නේ නෑ කවුරුත්. ඔව්, ඉබේ මැරිලා.
​අවසන් අරමුණ මොකක්ද? පොඩි ළමයි වගේ! වැරදි ගිණුමට සල්ලි දානවා. පොඩි ළමයි වගේ. වරායෙන් කන්ටේනර් පෑන්නෙනවා. අනේ ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. ගොයම් කැපෙන කාලය ලංවෙනකොට හාල් පිටින් ගේනවා. පොඩි ළමයි වගේ.

අසීමිත බදු ගහනවා. මේ රටේ තමන්ගේ වංචාවන් දූෂණයන් වහගන්න, තමන්ගේ වංචාවන් දූෂණයන් වහගන්න ආණ්ඩුව මොකක්ද කියන්නේ? ඒ බර රටේ ජනතාව පිට දානවා. හින්දා ජනතාව අසීමිත බදු ගෙවනවා. ඒ ගෙවන බදු ආණ්ඩුවෙන් වැරදි ගිණුමකට දානවා. වැරදි ගිණුමකට දාන සල්ලි ටික හොයාගන්න ආයෙ ආණ්ඩුවෙන් බද්දක් ගහනවා. ඒ තැනට අද මේ ආණ්ඩුව පත්වෙලා තියෙන්නේ.
​ඇහුම්කන් දෙන්නේ නෑ. තමන්ගේ පක්ෂයට ඇහුම්කන් දෙන්නේ නෑ. රටේ පාක්ෂිකයට ඇහුම්කන් දෙන්නේ නෑ. ඡන්දෙ දීපු අය, නොදීපු අය ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක පෙන්වලා දුන්නාම එයා හොරෙක් බවට පත්වෙනවා. දැන් නීතිඥ සංගමයේ 22 වෙනි සංශෝධනයත් එක්ක, දැන් නීතිඥ සංගමය හොරු බවට පත්වෙලා. මහා නායක හාමුදුරුවොත් හොරු බවට පත්කරනවා. ඇයි කියන්නේ මොකක්ද? 22ට විරුද්ධ වෙන්නේ හොරුලු.

​ආණ්ඩුවට එක පුද්ගලයෙක්ගේ කාලය දික්කරගැනීමේ න්‍යායපත්‍රයක් තියෙනවා නම්, ඕනෑකමක් තියෙනවා නම් ඒක ආණ්ඩුවේ වැඩක්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අනික් පැත්තෙන් මොකක්ද? අනික් පැත්තෙන් මේ කාරණය ඇතුළේ ආණ්ඩුව තමන්ගේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම්, ජීවන වියදම පාලනය කරනවා නම්, රැකියා ටික දෙනවා නම්, ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ තැනට රට පරිවර්තනය කරනවා නම් ආණ්ඩුව ඔය මොනවා කරගත්තත් කමක් නෑ. හැබැයි අන්තිමට මොකක්ද වෙලා තියෙන්නේ? මාධ්‍යවේදී සහෝදරයෙක් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම ‘මොකක්ද චැනල් එක?’ කියලත් අහනවා, පොඩි ළමයි වගේ දිරවන්නේ නෑ.

​අර ඒකනෙ මං කිව්වේ. සාමාන්‍යයෙන් ජනතාවට ආණ්ඩුව එපා වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ජනතාව එපා වෙලා. මහජන දින තියන්නේ නෑ. මුණගැහෙන්නේ නෑ. දැන් අපි ගමෙන් ගමට යනවා. යනකොට හැම ගමකම, අද මේ ඔබේ කොට්ඨාසය වගේම හැම ගමකම අපේ පාක්ෂිකයෝ, අපිට ඡන්දය දීපු, නොදීපු විශාල පිරිසක් අපි වටා ඒකරාශී වෙනවා. මේක දැක්කාම දැන් ජනාධිපතිතුමාත් ගමෙන් ගමට යනවා. හොඳයි, යන්න ඕනේ, ඇහුම්කන් දෙන්නත් ඕනේ. හැබැයි ඉතින් ගමෙන් ගමට ගිහිල්ලා රැස්වීම් තියලා ගෙදර එන්න එපා. කියන දේ අහගන්න. ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඒවට විසඳුම් ලබාදෙන්න. මොකද ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.
​ඒ වගේම තමයි ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අපි ශක්තිමත්ව ගොඩනැඟෙමු.

විශේෂයෙන්ම ලුණුගම්වෙහෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ඔබ තමුන්නාන්සේලා නිරන්තරයෙන් හිටගත්තු ශක්තිමත් දෙමව්පියෝ, දරුවෝ, තරුණ පරම්පරාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. එදා අසීමිත සංවර්ධනයක් කේන්ද්‍ර කරගෙන, එදා නම් ආණ්ඩුව මත්තලට බැන්නා. දැන් කියනවා ඊළඟ ආයෝජන ගේන්න පුළුවන් හොඳම තැන මත්තලයි, හම්බන්තොට වරායයි, කොළඹ වරාය නගරයයි කියලා. කලින් නම් කිව්වේ පෝට් සිටි එක හදන්න සීගිරියක් කඩන්න වේවි කිව්වා. හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිව්වා. නේද? උමාඔයේ හිලක් තියෙනවා කියලා කිව්වා. අන්තිමට ඒක නැවැත්තුවාඋද්ඝෝෂණය කරලා.
​ඒ තැනට මේ රටේ සංවර්ධනය නවත්තපු පිරිසක්, අපි එක අතකින් සතුටු වෙනවා. එදා බැනපු, එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි සතුටු වෙන්න ඕනේ. එදා වරායට, අධිවේගී මාර්ගයට, ගුවන්තොටුපොළට, උමාඔයට බැනපු අය, අද පෝට් සිටියට බැනපු අය අද තමන්ගේ ගැලවුම්කාරයා බවට ඒ ව්‍යාපෘති පත්වෙලා මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්නේ ඒ ව්‍යාපෘති කියලා තමන්ගේ කටෙන්ම කියවගන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා
“

​

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...