කොළඹ LNW:ජපානයේ සංචාරකයින් 200 දෙනකු තනි ගුවන් යානයකින් ශ්රී ලංකාවට පැමිණීමට පසුගිය දා (30) නරිටා ගුවන් තොටුපොලෙන් පිටත් වූ බව ජපානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පවසයි.
Little Japan සමූහය සංවිධානය කළ මෙම චාරිකාව මෑත කාලයේ එකම කණ්ඩායමක් ලෙස වැඩිම ජපන් සංචාරක පිරිසක් පැමිණෙන අවස්ථාව බවත් මෙම චාරිකාව ශ්රී ලංකා ජපන් සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු දිරි ගැන්වීමක් බව තානාපතිවරයා ගුවන් තොටුපළේ දී ශ්රී ලංකාවට පැමිණෙන ජපන් ජාතිකයන්ට සුභ පතමින් පැවසීය.
ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලීය සහයෝගය සහ මග පෙන්වීම යටතේ ශ්රී ලංකාවට පැමිණි මෙම කණ්ඩායම සීගිරිය ඇතුළු ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසකට යාමටද ආයුර්වේද සහ සම්ප්රදායික සිංහල සුවතා වැඩ සටහන්වලට සහභාගිවීමට ද නියමිත බව මහාචාර්ය කුමාරසිංහ මහතා ප්රකාශ කළ අතර ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) සඳුන් සමීර මහතා ද ජපන් ජාතිකයන්ට සුභ පැතීමට නරිටා ගුවන්තොටුපලේ දී එක් විය.





