සටහන – පුලී
අගෝස්තු 31, LNW (කොළඹ): ශ්රී ලංකාවේ නිරූපණ හා විලාසිතා ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් පුරා නමක් දිනා සිටි ප්රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්ර කුමාරපතිරණ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
අභාවප්රාප්ත වන විට ඇය 46 වන වියේ පසුවූවාය. ඇයගේ හදිසි වියෝව ශ්රී ලංකාවේ නිරූපණ, විලාසිතා සහ කලා ක්ෂේත්රයට දැඩි පාඩුවක් ලෙස සැලකේ.
චූලා පද්මේන්ද්ර වසර 20කට අධික කාලයක් මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ ප්රමුඛ නාමයක් බවට පත්ව සිටි බව වාර්තා වේ. 2006 වසරේ ටැන්සානියාවේ පැවති ‘Miss Tourism Model of the World’ තරගාවලියේදී මාධ්ය සම්මානය දිනා ගැනීමත් සමඟ ඇය ජාත්යන්තර අවධානයටද ලක්වූවාය.
නිරූපණ ක්ෂේත්රයට පමණක් සීමා නොවූ ඇය නර්තන ක්ෂේත්රය සමඟද සම්බන්ධ වූ අතර, පසුව රංගනයටද එක්ව තිබේ. ඇය 2011 වසරේ තිරගත වූ ‘Sweet Angel’ චිත්රපටයටද රංගනයෙන් දායක වී ඇති අතර, 2023 වසරේ ‘ස්වර’ චිත්රපටයටද සම්බන්ධ වී තිබේ.
ඇය මෙරට නිරූපණ ක්ෂේත්රයේ නව පරපුරට මගපෙන්වූ අයෙකු ලෙසද කටයුතු කළාය. විශේෂයෙන් ශ්රී ලංකාවේ හිටපු ලෝක විවාහක රූ රැජිනක් වූ කැරොලින් ජූරිගේ පෞද්ගලික පුහුණුකාරිනියක ලෙසද චූලා පද්මේන්ද්ර කටයුතු කර තිබූ බව වාර්තා වී ඇත.
2019 වසරේ මාධ්ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ විවාහයෙන් අනතුරුව කෙටි කාලයක් නිරූපණ ක්ෂේත්රයෙන් ඉවත්ව සිටි බවත්, පසුව යළිත් ක්ෂේත්රයට පැමිණි බවත්ය. පවුල සහ තම දරුවා තම ජීවිතයේ ප්රමුඛත්වය වූ බවද ඇය එම අවස්ථාවලදී පවසා තිබුණාය.
ඇයගේ අභාවයට හේතුව හදිසි හෘදයාබාධයක් බව සඳහන්.
චූලා පද්මේන්ද්රගේ අභාවය පිළිබඳ පුවතත් සමඟ ඇය සමඟ වසර ගණනාවක් ක්ෂේත්රයේ කටයුතු කළ පිරිස් සහ නිරූපණ ක්ෂේත්රයේ බොහෝ දෙනා ශෝකයට පත්ව සිටිති.

