*
Friday, November 22, 2024
spot_img

Latest Posts

චන්ද්‍රයාන් – ඉන්දියානු ක්‍රමය

අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත් තැන් වල ලියැවී ඇති.

මේ වෙද්දී ලෝකයේ “හඳ ඇල්ලීමේ” තරඟයක් තිබෙන බව බොහෝ දෙනෙක්ට රහසක් වෙන්න බැහැ. මේ තරඟයේ ප්‍රමුඛ ක්‍රීඩකයින් වන ඇමරිකාව, රුසියාව හා චීනය අතරට දැන් ඉන්දියාවත් එකතු කරන්න පුළුවන්. මේ ප්‍රධාන රටවල් හතරට අමතරව ජපානය, ඊශ්‍රායලය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් තරඟයේ ඉන්න බවත් අමතක කළ යුතු නැහැ.

චන්ද්‍රයාන් සාර්ථකත්වය ගොඩක්ම වැදගත් වන ප්‍රධානම හේතුව ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු මුදලකින් වැඩේ කිරීම. දෙවැන්න හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩ බැස්සවීම. වඩා වැදගත් දෙවැනි කරුණට එන්න කලින් පළමුවැන්න ගැන කතා කරලා ඉවර කරමු.

කවුරු හෝ නොදන්නා කෙනෙක් ඉන්නවානම්, පොළොවට හැම විටම පෙනෙන්නේ හඳේ එක් අර්ධයක් පමණයි. පොළොව මෙන්ම හඳද තමන්ගේ අක්ෂය වටා කැරකෙන නමුත් එසේ කැරකෙන්නේ හඳේ පොළොවට පෙනෙන පැත්ත හා නොපෙනෙන පැත්ත මාරු නොවන විදිහටයි. ඒ නිසා, ඒ නොපෙනෙන පැත්ත පොලොවේ සිට දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න බැහැ. ඒ නිසාම, ඒ පැත්තේ භූ විෂමතා ආදී තොරතුරු දන්නේ අඩුවෙන්. ඒ වගේම, මෙතෙක් සඳ මත කළ ගොඩ බැස්වීම් බොහොමයක් කර තිබෙන්නේ හඳේ සමකය ආසන්න ප්‍රදේශ වලට. ධ්‍රැව පැත්තට යන්න ප්‍රයත්න දරා තිබෙන්නේ අඩුවෙන්.

හඳේ පෙනෙන පැත්තට යානයක් ගොඩ බැස්වීමට සාපේක්ෂව අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වන එක තාක්ෂණිකව වඩා අභියෝගාත්මක කටයුත්තක්. එයට එක හේතුවක් වන්නේ ඒ පැත්තේ භූ විෂමතා ආදිය ගැන හරියටම නොදැනීම. මෙය යානයක් ගොඩ බැස්වීම සඳහා ස්ථානයක් තෝරා ගැනීම කෙරෙහි බලපානවා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය සන්නිවේදන ප්‍රශ්නය. හඳේ හෝ පොළොවේ තිබෙන කඳු, ආවාට වැනි භූ විෂමතා නිසා ප්‍රශ්නයක් නොවුනොත්, හඳේ පේන පැත්තේ සිට රේඩියෝ තරංගයකට කෙළින්ම පොළොව වෙත එන්න පුළුවන් වුනත්, පොළොව එක්ක සෘජු රේඛාවක් හැදෙන්නේ නැති නිසා (line of sight) නොපෙනෙන පැත්තේ සිට රේඩියෝ තරංගයකට ඒ විදිහට එන්න බැහැ. සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දීත් මේ සන්නිවේදන අභියෝගය ඉහළ යනවා.

ඔබට ඇතැම් විට මතක ඇති මීට කලින් 2019 වසරේදී ඉන්දියාව විසින්ම සිදු කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම. එම මෙහෙයුම යටතේ හඳට ගොඩ බස්වන්නට සැලසුම් කළ වික්‍රම් යානය (lander) හඳට ඔන්න මෙන්න තියා කඩා වැටීමට හේතුවක් වුනේ යානය සමඟ පොළොවේ සිට සන්නිවේදනය කළ නොහැකි වීම.

කවුරුත් දන්නා පරිදි සෝවියට් දේශය අභ්‍යවකාශතරණයේදී ඉදිරියෙන්ම සිටි රටක්. ඇමරිකානු රජය අභ්‍යවකාශ වැඩ සටහන් සඳහා විශාල ලෙස මුදල් වෙන් කර මිනිසුන් හඳ වෙත යැවීම දක්වා දුර ගමනක් ගියේ සෝවියට් දේශය විසින් මුලින්ම මිනිසෙකු අභ්‍යාවකාශගත කිරීමෙන් පසුව ඇති වූ කම්පනයෙන් පසුවයි. විශාල කාලයක් සෝවියට් දේශය හා ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය අතින් කරට කර සිටියා. පසුව මේ දෙරටම සිය අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කරන ආයෝජන සීමා කළා. හඳ ගමන් නැවතුනා. කළ ආයෝජන වල තරමට ප්‍රතිලාභ නොතිබීම ඊට හේතුවක්.

ඇමරිකාව විසින් පෞද්ගලික අංශයේ දායකත්වයද සහිතව මෑතකදී සිය අභ්‍යවකාශ වැඩ සටහන් නැවත ආරම්භ කරද්දී රුසියාවද 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගත්තා. 1976දී සෝවියට් දේශය විසින් මිනිසුන් රහිතව හඳට යැවූ ලූනා-24 යානය සාර්ථක ලෙස හඳ මත ගොඩ බස්වනු ලැබූ අතර හඳෙන් පස් සාම්පල් පොළොවට රැගෙන ආවා. මෙය සෝවියට් දේශය විසින් එවැන්නක් කළ පළමු අවස්ථාව නොවුනත් අවසන් අවස්ථාවයි.

මෑතකදී රුසියාව නැවතත් 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගනිමින් දෙසතියකට පෙර (2023 අගෝස්තු 10 දින) ලූනා-25 යානය හඳ වෙත යැවුවා. ඒ 2023 ජූලි 14 දින චන්ද්‍රයාන්-3 හඳ වෙත ගමන් අරඹා සති හතරකට පමණ පසුවයි. රුසියාවේ සැලසුම වූයේ ඉන්දියාවට පෙර නැවත හඳ මතට යානයක් ගොඩ බැස්වීමයි. අගෝස්තු 23 දින චන්ද්‍රයාන්-3 හඳ මත ගොඩ බැස්වීමට දින දෙකකට පෙර අගෝස්තු 21 දින ලූනා-25 ලෑන්ඩරය හඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්වීම රුසියාවේ ඉලක්කය වුනා.

කෙටියෙන් කිවුවොත් ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 යානය “කොට කොටා” හඳට යද්දී “පාගා ගොස්” ඊට පෙර හඳට යාම රුසියාවේ ඉලක්කය වුනා. එහෙත්, රුසියාවේ වත්මන් අභ්‍යාවකාශ තාක්ෂණ හැකියා ප්‍රශ්න කරමින් දශක ගණනාවකට පසුව රුසියාව විසින් සිදු කළ මෙම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූයේ නැහැ. අගෝස්තු 19 දෙන රුසියාවට ලූනා-25 හා තිබුණු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටුනා. එසේ නොවන්නට චන්ද්‍රයාන්-3 හඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යන්නට දින දෙකට පෙර රුසියාව එහි යනවා. ඊට පෙර, අසාර්ථක වූ 2019 චන්ද්‍රයාන්-2 සඳ මෙහෙයුමට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය විසින් දියත් කළ බෙරසිට් මෙහෙයුම අසාර්ථක වීමටද සන්නිවේදනය බාධකය හරස් වුනා. කොහොම වුනත්, පෞද්ගලික අංශය මුල් වී මෙතෙක් සිදු කළ සාර්ථකම සඳ මෙහෙයුම ලෙස ඉලක්කය කිට්ටුවටම ගිය බෙරසිට් මෙහෙයුම සටහන් වෙනවා.

චන්ද්‍රයාන්-2 මෙහෙයුමේ අවසන් අදියරේදී අසාර්ථක වුවත් එහිදී සඳ වෙත යවනු ලැබූ ප්‍රධාන යානය තවමත් සඳේ කක්ෂයේ තිබෙනවා. මෙවර වික්‍රම් ලෑන්ඩරය හඳ මත ගොඩ බැස්වීමෙන් පසුව එම චන්ද්‍රයාන්-2 යානය මෙන්ම චන්ද්‍රයාන්-3 මවු යානයද වික්‍රම් ලෑන්ඩරයේ සිට පොළොව වෙත සංඥා එවීමේදී අතරමැදි සංඥා සම්ප්රේෂකයින් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ සැලසුම වුනා. මේ මගින් සන්නිවේදනය බිඳ වැටීමේ අවදානම අඩු කරගත හැකි වුනා.

තාක්ෂනික බාධා වැඩි වුවත් ලෝකයේ හැම රටකම අවධානය යොමු වී තිබෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය වෙතයි. ඊට හේතුව, හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙන් ජලය (අයිස්) සොයා ගත හැකි වීමේ හැකියාවයි. සඳ ඉලක්ක කරන අනාගත වැඩ පිළිවෙලකදී පොළොවේ සිට ජලය ගෙන යාමට සාපේක්ෂව ජලය හඳ තුළින්ම හොයා ගැනීමේ ආර්ථික වටිනාකම ඉතාම විශාලයි. ඒ වගේම, මේ හරහා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි හයිඩ්‍රජන් හදා ගැනීමටද ඉඩකඩ විවර වෙනවා.

මීට පෙර, 2019දී චීනයේ චංඅ 4 මෙහෙයුමේදී පළමු වරට සන්නිවේදන අභියෝග ජයගනිමින් හඳේ අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වනු ලැබුවා. චීනය හඳේ අඳුරු පැත්ත වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා.

හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩබස්වන රට ඉන්දියාවයි. රුසියාවද මේ සඳහා උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. රුසියාව මෙන්ම දශක ගණනාවකට පසු සිය අභ්‍යවකාශ වැඩ සටහන් වලට නැවත පණ දී තිබෙන, සඳ වෙත මිනිසුන් යවා ඇති එකම රටද වන ඇමරිකාව මේ වන විට හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මිනිසුන් සහිත යානාවක් යැවීම සඳහා සැලසුම් කරමින් සිටිනවා.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 75ක් පමණක් වීම ලංකාවේ බොහෝ දෙනෙක් කතා කර ඇති දෙයක්. ඉන්දියාවේ අඩු වියදම් අභ්‍යවකාශ වැඩසටහන් ගැන මට මුලින්ම දැන ගන්න ලැබුණේ වසර කිහිපයකට පෙර නාසා ආයතනයේ සඳ ගමන් සැලසුම් වලට සම්බන්ධව සිටි (දැන් පෞද්ගලික ආයතනයක සඳ ගමන් හා අදාළ සැලසුම් වල නිරත) මිතුරෙකු හා කතා කරද්දී. ඔහු එහිදී පැවසුවේ ඉන්දියාවේ අඩු වියදම් සැලසුම ඇමරිකානුවන්ට හිතාගන්නවත් බැරි බවයි. ඇමරිකාවේ ඇපලෝ වැඩ සටහනේ පිරිවැය අද ඩොලර් වලින් බිලියන 280ක් පමණ.

මිනිසුන් රහිත යානයක් හඳට යවන්න ඇමරිකාවටනම් ඩොලර් මිලියන 400-500 පමණවත් යනවා. චීනයට චංඅ 4 හඳට යවන්න වගේම රුසියාවේ අසාර්ථක වූ ලූනා-25 මෙහෙයුමටත් ඩොලර් මිලියන 200-250 පමණ ගියා. ඉන්දියාව මේ වැඩේ ඩොලර් මිලියන 75කින් කරලා පෙන්නලා තියෙනවා.

ඉන්දියාවේ අඩු වියදම් හඳ ගමනේ රහස වූයේ ගමන් කාලය අඩු කර ගැනීමට මහන්සි නොවී පොළොවේ ගුරුත්ව බලයම හැකිතාක් යොදා ගනිමින් හඳට යානයක් යැවීමට සැලසුම් කිරීමයි. චන්ද්‍රයාන්-3 හඳ වෙත යවන්නට දින 41ක් පමණ ගත වුනේ ඒ නිසා. ඇමරිකන් යානා වලට මිනිසුන්ද සහිතව දින හතරකදී හඳ වෙත යා හැකි වී ඇති අතර මිනිසුන් රහිත සෝවියට් යානා දින තුනකින් හඳ වෙත ගොස් තිබෙනවා. එහෙත්, හඳ වෙත යානාවක් කෙළින්ම, එකවර යැවිය හැකි තරම් බලයක් ඇති රොකට් ඉන්දියාව සතු වූයේ නැහැ. ඉන්දියාව කළේ කාලයක් පොළොව වටා රවුම් ගසන අතර ක්‍රමයෙන් රවුම ලොකු කර ගනිමින් අවශ්‍ය සීමාවට යාමෙන් පසුව පොළොවේ ගුරුත්වයෙන් මිදී හඳ වෙත යාමයි. ඉන් පසුව, ඒ විදිහටම හඳ වටා රවුම් ගසමින් හඳට කිට්ටු වීමයි. මේ ක්‍රමයේදී විශාල බලශක්ති ඉතිරියක් වෙනවා.

තාක්ෂනිකව කාර්යක්ෂමතාව මැනීමේදී බොහෝ විට උපයෝගී කරගන්නා නිර්ණායකයක් වන්නේ යොදවන බලශක්තියට සාපේක්ෂව සිදුවන කාර්යයයි. එහිදී ආර්ථික සාධක සැලකිල්ලට ගැනෙන්නේ අඩුවෙන්. එහෙත්, ආර්ථික කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී සැලකිලිමත් වන්නේ යොදවන පිරිවැයට සාපේක්ෂව සිදුවන ආර්ථික වශයෙන් ඵලදායී කාර්ය භාරය පිළිබඳවයි. ආර්ථික කාර්යක්ෂමතාවය ප්‍රශස්ත වන්නේ තාක්ෂනික කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමට වඩා අඩු මට්ටමක ඇති විටෙක වෙන්න පුළුවන්.

කාලයක් ගුවන් යානා වල වේගය වැඩි කර ගැනීමේ තරඟයක් තිබුණා. දැන් එය නැවතිලා. දැනට තිබෙන තාක්ෂනය යොදා ගෙන අවශ්‍යනම් දැන් ඇමරිකාවේ සිට යුරෝපය වෙත යාමට ගත වන කාලයට වඩා ගොඩක් අඩු කාලයක් තුළ ගුවන් යානයක් පියාසර කළ හැකියි. එහෙත්, එවැන්නක් සිදු නොවන්නේ එහිදී ඉහළ යන ඉන්ධන වියදම නිසා මෙය ආර්ථික වශයෙන් කාර්යක්ෂම නොවන නිසයි. ගුවන් ගමන් වල යෙදෙන බොහෝ පාරිභෝගිකයින්ට වේගයට වඩා වැදගත් අඩු මිලයි.

මිනිසුන් රහිත යානයක් හඳට යවන විට මෙන් නොව මිනිසුන් සහිත යානයක් හඳට යවන විට ගමන් කාලය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මිනිසුන් වැඩි කාලයක් යානයක් තුළ රඳවා ගැනීමේදී මතුවන අභියෝග ගණනාවක් තිබෙනවා. එහෙත්, ඒ හේතුව නිසා, ඉන්දියාවේ අඩු පිරිවැය විකල්පයේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ.

ඉන්දියාව හඳට ගලක් ගසා තිබෙනවා. මෙය එක පැත්තකින් අඹ ගහේ වඳුරු රංචුවට අඹයකින් ගහනවා වගේ වැඩක්. ඩොලර් බිලියන 550ක පමණ ඉන්දියානු ෆෙඩරල් අයවැය ඇතුළේ ඩොලර් මිලියන 75ක් කියන්නේ අබ ඇටයක්. රටේ ඉන්න බිලියන 1.4ක ජනගහණය සැලකූ විට, එක් අයෙකුට ඉන්දියන් රුපියල් 4ක පමණ මුදලක්. චන්ද්‍රයාන්-3 හඳට යාම නිසා ඉන්දියානුවෙකු ලබපු සතුට පමණක් සැලකුවත් රුපියල් හතරකට වඩා වැඩි විය යුතුයි. ඒ නිසා, මේ වැඩේ ඉන්දියානු රජය විසින් කළ මුදල් නාස්තියක් කියලා මමනම් කොහොමටවත් හිතන්නේ නැහැ. මම පෞද්ගලිකව ගත්තොත් ඇමරිකාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, රුසියාව වේවා මිනිස්සු අභ්‍යවකාශය ජය ගනිද්දී මට ලැබෙන සතුට රුපියල් කිහිපයක සතුටට වඩා ගොඩක් වැඩියි.

නුදුරු අනාගතයේ අභ්‍යාවකාශය තුළ මිනිස් පා සටහන් වේගයෙන් සලකුණු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ එක්කම “භූ දේශපාලනය” වගේ වචන ගැනත් නැවත සිතා බලන්න වෙයි. භූ දේශපාලනය වෙනුවට “අභ්‍යවකාශ දේශපාලනය” ආදේශ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඒ වගේම, අභ්‍යාවකාශය ආශ්‍රිත අලුත් කර්මාන්ත, අලුත් රැකියා අවස්ථා, අලුත් විනෝදාංශ වේගයෙන් බිහි වෙයි. ඉන්දියාව දැනටමත් මේ ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි.

ඩොලර් මිලියන 75ක ගලක් ගහලා ඉන්දියාව එක පැත්තකින් උත්සාහ කරන්නේ මේ කර්මාන්තය වෙත රට ඇතුළේ තිබෙන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගන්න. ඔය වගේ මුදලක් කජ්ජක් නොවන බිලියනපතියන් ගණනාවක් ඉන්දියාවේ ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවට මේ කර්මාන්තය තුළ ආයෝජනය කරන්න විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන්. අඩු වියදමෙන් වැඩේ කරලා ඉන්දියාව විදේශ ආයෝජකයින්ට පෙන්වලා තියෙන්නේ තමන්ගේ මුදල් මේ කර්මාන්තයේ ආයෝජනය කරන්න හිතනවානම් ඉන්දියාව ඒ සඳහා හොඳ තැනක් වන්නේ ඇයි කියන එකයි.

හඳට මිනිසෙකු යවද්දී දින තුනකින් නොයවා දින හතළිහකින් යවන එක ඒ තරම් ආකර්ශනීය නොවෙන්න පුළුවන්. නමුත් හඳ ගමන් ඉහළ යද්දී හඳට විශාල ලෙස භාණ්ඩ ගෙනයන්න අවශ්‍ය වෙනවා. එහිදී කාලයට වඩා වැදගත් වෙන්නේ පිරිවැයයි. මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් ඉන්දියාවට කියලා ඉන්දියාව දැනටමත් පෙන්නලා ඉවරයි. වට ගහලා හඳ අල්ලපු ඉන්දියාවට වට ගහලා ලෝකය අල්ලන එක අමාරු වැඩක් නෙමෙයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan