*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

සිපිරිගෙය ව්ශ්වවිද්‍යාලයක් කරගත් බමුණුසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බමුණුසිංහ ආරච්චිගේ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මරණීය දණ්ඩනය නියමවූ  රැදෙවියෙකි. සිරගෙදර යනු  තම නිවස වත් රජමැදුරක්වත් නොවේ.  මරණීය දණ්ඩනය නියමවූවෙක් යනු කිසිදු අනාගත බලාපොරොත්තුවක් නැති අඳුරු අගාධයක සිරවූවෙකි. ජම්පරය යනු ඔහුගේ සදාකාලික සළුවයි. 

බමුණුසිංහ ආරච්චිගේ ලක්මිණ ඉන්දික බමුණුසිංහද එසේ මරණයේ සෙවනැලි දකිමින්, තම  ජීවිත බලාපොරොත්තුව අවසන් මොහොත දක්වා  අත්නොහැරි චරිතයකි. එමෙන්ම ඔහු මෙරට බන්ධනාගාර ඉතිහාසයට නව අරුතක් ගෙනෙමින් , මරණය යනු හුදෙක් මිනිසාට පොදු ධර්මතාවක් බව පසක් කළේය.

එසේම  මරණය  තෙක්ම මිනිසකුට ඉගෙන ගැනීමට දේවල් ඇතැයි ලොවට පසක් කරමින්
2015 වසරේදී ශාස්ත්‍රවේදී උපාධියත්, 2019 වසරේදී ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් ඔහු මේ වනවිට ඉන්නේ දර්ශනපති උපාධිය අභියසය. දර්ශනපති උපාධියේ පර්යේෂණ නිබන්ධනය පසුගිය 28 වැනිදා විශ්වවිද්‍යාලයට භාර දුන්නේ බන්ධනාගාරයක සිට එවැන්නක් කළ මෙරට පළමු වැනියාත්, ලොව හයවැනියාත් ලෙසිනි.

පාසල් වියේ සිටම ක්‍රීඩාවටත්, ඉගෙනීමටත් එක ලෙස දස්කම් දැක්වූ ඔහු 2013 වසර වනවිට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස දස වසරක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණි.

මේ අතර බම්බලපිටියේ විසූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධන, ඔහුගේ පුතු ඇතුළු පොලිසියේ සිව්දෙනෙකු‍ට මරණ දඬුවම නියම විය. උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ ද ඒ අතර විය. 2015 වසරේදී එම තීන්දුව ලැබෙන විට බමුණුසිංහ රක්ෂිත බන්ධනාගාරයේ දෙවසරක කාලයක් ගෙවා දමා අවසන්ය.

එම කාලය ඔහේ ගෙවා නොදැමූ ඔහු ඒ වනවිට ශාස්ත්‍රවේදී විභාගයද ලියා අවසන් කොට තිබුණි .

“එයා සැකකරුවකු ලෙස 2013 වසරේ රිමාන්ඩ් කරද්දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායාලයේ භාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වෙලා හිටියේ. එයා දේශනවලට සහභාගි වෙලා හිටියත් පළමු පරීක්ෂණයට මුහුණ දීලා හිටියේ නෑ. ඒ විභාගේ ලියනවා නම් ඒකට බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ලබාගන්න ඕනෑ. ඒ අනුව එවකට බන්ධනාගාර නිලධාරිවරයකු වූ චන්දන ඒකනායක මහත්තයාට මේ ගැන කියලා ඉල්ලීමක් කළාම එතුමා අවශ්‍ය අංශ දැනුවත් කරලා මහත්තයට ලිඛිත පරීක්ෂණයට මුහුණදෙන්න බන්ධනාගාරය තුළම අවස්ථාව හදලා දුන්නා.”

ඒ බමුණුසිංහගේ ආදරණීය බිරිඳ එසේ පැවසීය .

ඔහු හා ජීවිතය අරඹන විටම තමන්ගේ සිහින බොඳ කරවන තීන්දු ලැබුණද බමුණුසිංහගේ චිත්ත ධෛර්යයට ඇයගෙන් ලැබුණේ ඉමහත් ශක්තියකි. තමා නිර්දෝෂී බව ඔහු ඇයට කීවා පමණක් නොව කවදාක හෝ මුහුණ දීමට සිදුවන මරණය තෙක් හොඳින් ජීවත් වීමටද හෙතෙම අධිඨන් කරගත්තේ ය. තවද මරණය පෙනි පෙනී පවා ඔහු අධ්‍යාපනයෙන් ඉහළට යාමට සිතන්නේ වරදක් ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගතවන සියලු සිරකරුවන්ගේ හිතට පුංචිම හෝ ධෛර්යයක්ද ගෙනෙමිනි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී භාහිර උපාධිය සම්පූර්ණ කරන්නට ඔහුට හැකිවන්නේ මෙරට බන්ධනාගාර ඉතිහාසයද අලුත් කරමිනි. ඒ 2015 අවුරුද්දේ ය. එම කාලයේදී ඔහු පාඩම් කළේ සුවපහසු පරිසරයක නොවේ. ඔහු වෙනුවෙන් ඇතැම් දිනවල දේශනවලට සහභාගි වූයේ බිරිඳය. ඇය එම දේශන පටිගත කොට ගෙන පැමිණ ඔහුට ලබාදෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද අවසරය ඇතිවය.

“එහෙම ගෙනත් දෙන දේශන අඩංගු සී.ඩී. පට රාත්‍රී දහයෙන් පසුව ඔහුට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුණා. ඒ අනෙක් සිරකරුවන් නින්දට ගිය පසුවයි. ඔය විදියට ඔහු මුහුණදුන්නු පළමු විභාගයම සමත්වුණා. ශාස්ත්‍රවේදී උපාධිය ලබද්දී බන්ධනාගාරයෙන් ඔහුට උපාධි ප්‍රදානෝත්සවයට යාමට අවසර දුන්නා . ඒ වෙලාවේ එයා කිව්වා ඊළඟට ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරනවා කියලා. ඒ එක්කම ඊට සියයට හැත්තෑවක් දේශන සම්පූර්ණ කරන්න ඕනෑ කියන නියමයක් තිබුණා. ඒ අනුව දින හත අටක් එයාට දේශනවලට සහභාගි වෙන්න අධිකරණ අවසරය ලැබුණා. ඒ. එන්. සී. බී. එස්. මොරායස් සහ මොහොමඩ් සහබ්දීන් යන විනිසුරුවරුන්ගෙන් ලැබුණු මානුෂීය තීන්දුවත් එක්කයි.”

ඉන්දිකගේ බිරිඳ එම අතීතාවර්ජනය කළාය.

එසේ තීන්දු ලැබෙද් දී එය වළක්වන්නටද ඇතැමුන් උත්සාහ කළත් තම අධිෂ්ඨානය වෙත ළඟාවීමට ඔහු තුළ තිබුණු කැපවීම නිසාම ඊට බාධා පමුණුවන්නට කිසිවකුට අවකාශ නොලැබිණි. ඒ අනුව 2019 වසරේදී ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගත්තේ හිත ඇත්නම් පත කුඩාද යන කියමන මොනවට තහවුරු කරමිනි.

අනතුරුව ඔහු එම විශ්වවිද්‍යාලයේම දර්ශනපති උපාධියට මුහුණදෙන්න ට සූදානම් වූයේ ඉගෙනීමට වූ නොතිත් ආශාව නිසාමය. එහි නිබන්ධනය වෙනුවෙන් ඔහුට මුදල්ද ඕනෑ විය. එම අවශ්‍යතාව එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද අනුමැතිය සහිතව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසිනි. ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව “ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා” නමින් පිටු තුන්සිය ගණනකින් සමන්විත දර්ශනපති නිබන්ධනය සකසා ඔහු සරසවියට එය භාරදුන්නේ එම ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම හා අනුදැනුම මතය. එහිදී මහාචාර්ය ගීතානි අමරතුංගගේ සහ මහාචාර්ය උබයසේකරයන්ගේ මඟපෙන්වීම විශාල පිටුබලයක් වූ බව ඉන්දිකගේ බිරිඳ සඳහන් කළාය.

මරුවා පෙනි පෙනී තිබියදීත් ඉගෙනීමට ඔහු තුළ වූ කැපවීමට මනා වටිනාකමක් ලබාදීමට සරසවි ආචාර්යවරුද පසුබට නොවිණි. ඒ අනුව එම උපාධි තුනේ ම අධ්‍යයන කටයුතු කරද්දී සියලු විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලය නිබන්ධන කරුණු ගැන විමසුවහොත් දිවා රෑ නොබලා ඔහුට එම කරුණු කියා දෙන්නට තරම් නිර්ලෝභී වී තිබේ.

මෙතරම් දුරක් එන්නට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඉමහත් ශක්තියක් වූ බව ඉන්දික පවසයි.

බමුණුසිංහ වරක් බිරිඳට කියා ඇත්තේ මොහොමඩ් අලිගේ සාර්ථකත්වය පිටුපස සිටියේ ඔහුගේ කළමනාකරු බවත්, තමාට බන්ධනාගාර ඉතිහාසය වෙනස් කරන්නෙට ලැබුණේ චන්දන ඒකනායක මහතාගේ කාරුණිකභාවය නිසා බවත්ය.

“ඇත්තටම, මම කිසිම අවස්ථාවක ‘නැහැ’ කියන වචනය භාවිත කළේ, නැහැ.” එහෙම කිව්වා නම් මරණ දඬුවම නියම වූ අයෙකු ලෙස ඔහු කඩා වැටෙනවා. ඒ වගේම තමයි මේ වගේ අවදානමක් ගන්න බොහෝ වෙලාවට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මම ඒ අවදානම අරගත්තා. ඒ එක්කම ඔහු වෙනුවෙන් ලෙක්චර්ස්වලට ගියේ ඔහුගේ බිරිඳයි. ඔහු මට ගෞරවයක් ලබාදෙන්නේ යම් සේද එතරම්ම ගෞරවයක් ඔහුගේ බිරිඳටත් හිමිවිය යුතුයි. ඇය ඒතරම්ම කැපවීමක් ඔහු වෙනුවෙන් කළා. ඒ ඇරුණම බන්ධනාගාර නිලධාරීන් ලෙස අපි ගත්තේ ලොකු අවදානමක්. මරණීය දණ්ඩනය නියමවූ කෙනකුගේ හිතේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. හැබැයි මොහු මේ ලබාදෙන ආදර්ශය සෙස්සන්ට ඉතාම වටිනවා.
ඔහු දර්ශනපති උපාධිය කරද්දී ඔහුට දහවල් කාලයේ පාඩම් වැඩ කටයුතු කරන්න අවසර ලැබුණා. නමුත් ඒ සිරකුටියේ නෙමෙයි. බන්ධනාගාරය තුළ පන්සල් භූමියේ ඉඳගෙනයි ඔහු නිබන්ධනය ලිව්වේ. ඒ වගේම ඔහුට ලැප්ටොප් පරිගණකය භාවිත කරන්න අවසර ලබාදුන්නා. බන්ධනාගාර සුබසාධක මණ්ඩලය ඔහුට ලොකු සහයෝගයක් ලබාදුන්නා.
ඒ වගේම බන්ධනාගාර ඉතිහාසය තුළ පළමු වතාවට තමයි මරණ දඬුවමට ලක්වූවෙක් දර්ශනපති උපාධිය සම්පූර්ණ කරන්නේ. එතනදී බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට සියලු නිලධාරීන් ඔහුට සහයෝගය දැක්වූවා. ඔහු ලංකා ඉතිහාසය අලුත් කළා. ලෝකයේ මෙවැනි අවස්ථා හයක් තිබෙනවා. හැබැයි ඒ බොහෝ උපාධි අවස්ථා ආගම සම්බන්ධ ලබාගත් උපාධි.”ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා” සම්බන්ධව දර්ශනපති උපාධියක් ලබන පළමු තැනැත්තා ඔහුයි.”

අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා බමුණුසිංහ වෙනුවෙන් තමා විසින් කළහැකි උපරිම යුතුකම් ඉටුකල ආකාරය  පිළිබඳ  සිය මතකය වචන බවට පෙරළුවේ එලෙසිනි.

ජීවත් වීමේ බලාපොරොත්තු සුන් වුවද  ජීවිතය අත් නොහල බමුණුසිංහ වැන්නවුන් අද ජීවත් වුවත් මළවුන් වැනි මිනිසුනට ජීවිතය යන්න කුමදැයි කියා දෙන මහා පුස්තකාලයක් නොවන්නේද?

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan