සටහන – රුවන් නෙළුගොල්ල
විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම ශ්රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා විසින් නම්කරන ලද පංච පුද්ගලය විනිසුරු මඬුල්ලක් හමුවේ ය.
මෙම විනිසුරු මඬුල්ල අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ඉදිරිපත්ව ඇති අතර අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 05 ක් ඉදිරිපත්ව ඇත.
අද (01) දිනයේදී මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේදී කැඳවා තිබුණු නමුත් එහි ඉඩකඩ ප්රමාණවත් නොමැති නිසා එය වඩාත් ඉඩකඩ සහිත 501 ශාලාවට මාරුකරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරුන් විසින් ඉල්ලීමක් කරන ලදී.
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල ඒ අනුව පෙත්සම් විභාගය 501 ශාලාවට මාරුකිරීමට නියම කළේය.


