කොළඹ LNW:කිසිලෙසකින්වත් ජාතිවාදී දේශපාලනයට සහය නොදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පරාජිත දේශපලනඥයින් යළි නැගිසිටිම සඳහා මෙවලමක් ලෙස යොදාගන්නේ ජාතිවාදය බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති අතර එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව හෙතෙම අවධාරණය කරන ලදී.
කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
”අපිට අවශ්‍යයි යළි විනාශයට පත්වී තිබෙන මේ ප්‍රදේශ සහ ජනතාවට ජීවය කැටුව ඒමේ උවමනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජනතාව ප්‍රබල ඉදිරි පියවරක් තබලා අපි ගැන විශ්වාසය තබලා තියෙනවා. ඔවුන් ඉතාමත් ශක්තිමත් ඉදිරි පියවරක් ආරම්භ කරලා තියෙනවා. අප හමුවේ තියෙන අභියෝගය කුමක් ද ? අපි කෙරේ විශ්වාසය තැබූ ජනතාව, ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා කේෂ්ත්‍ර කිහිපයක අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා. දෙවනුව ඔවුන්ගේ ආර්ථික තලය ඉහළට ඔසවා තැබිය යුතුයි. පසුගිය ගැටුම් හේතුවෙන් විශාල ආර්ථික අවස්ථා අහිමිවූ ජනතාවක් මෙම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීම රජයක් ලෙස අපේ වගකීමක්. අපි එය භාරගැනීමට ලෑස්තියි. ඒ සඳහා අපි පියවර ගණනාවක් ආරම්භ කළා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප, උතුරු කේන්ද්‍ර කරගත් සංචාරක කේෂ්ත්‍රය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඒ වගේම ඒ ප්‍රධානම සාධකය තමා ආර්ථිකය නංවාලීමට පොල් වගාව ආරම්භ කිරීම.”
මේ අතර සමගිය ඇති කිරීමේ අරමුණින් වැඩකරමින් සිටින අතර ඒ සඳහා ගත හැකි ඉතාම ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගැනීමට කිසිසේත්ම බිය නොවන බවත් පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අප විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩක් නැති බවත් මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේය.
”අපිට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ රටක් ද? මෙතෙන බොහෝ අය ජීවිතය ගත කළේ යුද්ධය සමග.එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර 30කට වඩා යුද්ධ කරලා තියෙනවා. එය අපේ රටේ ඇති වූ විශාලතම ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වුණා. බෙදුනා. ඒ තත්ත්වයන් සමග ජාතිවාදී දේශපාලනය ගොඩනැගුණා. උතුරු සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වුණා. එම තත්ත්වය තමා පහුගිය මැතිවරණවලදී මේ රටේ ජනතාව පරාජයට පත් කළේ. උතුරේත් දකුණේත් තමන්ගේ අහිමිවූ බලය ආරක්ෂා කරගැනීමට ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවයන්ගේ කුඩා නැගිටිලි, කෙඳිරිලි අපි දකිමින් තියෙනවා.ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිවිටෙක පොදු ජනයාට සේවයක් සපයා නෑ. උතුරේ ජාතිවාදය දේශපාලනඥයින්ගේ මෙවලමක්. දකුණේ පැනනඟින ජාතිවාදය දේශපාලන මෙවලමක්. පරාජය වුණු කණ්ඩායම් උපයෝගී කරගන්නා ඉතාම විනාශකාරී මෙවලමක්. ඒ නිසා අප ඔබට ආණ්ඩුවක් ලෙස එකක් සහකික කරනවා. ආණ්ඩුවක් ලෙස අපි යළි ජාතිවාදී දේශපාලනයට මේ රටේ ඉඩ තබන්නේ නෑ. ඒ වගේම මා විශ්වාස කරනවා ජනතාව ලෙස ඔබත් කොතැනක කුමන ආකාරයකින් පැනනැඟුණත් මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් ඔවුන් උතුර ගැන කල්පනා කරන්නේ, යුද්ධයක් ගැන අනියත බියක් නිරන්තරයෙන් ගොඩනගමින්, කොළඹ නගරයේ ආයුධ හම්බවෙනවා, වෙඩිතියා ගන්නවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකථනය කරනවා. උතුරේ එහෙම වුණොත් එය යුද්ධයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ උතුර ගැන නිරන්තරයෙන් අනියත යුද බිමක් නිර්මාණය කරන දේශපාලනයක් තියෙනවා. සියලු සැලසුම්, සටන් පාඨ ඔක්කෝම සකස් කරන්නේ යුද්ධයක් ගැන අනියත බිමක් පෙන්නවමින්. අපේ ආණ්ඩුව සැමවිටම කටයුතු කරන්නේ යළි උතුරේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ. කුමන හෝ ඉඩක් තියෙනවා නම් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න ඒ ඉඩ ඇහිරීම ගැනයි අපේ දේශපාලනය. ඒක තමා අපේ ආණ්ඩුවේ අරමුණ. නැවත අනියත බියක් ඇති කිරීම නෙමෙයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් උක්ත වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.
මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමද අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
පරන්තන් කරච්චි මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3000 කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතින හෙයින් ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ආශිකා බ්‍රාහ්මණ
